dog-story-kandy

නිවසේ ඇති කරන සුනඛයකු විසින් මහමග වැටී තිබූ මුදල් පසුම්බියක් නිවසට ගෙන ඒමෙන් පසු එය නැවතත් හිමිකරුට ලබාදුන් සිදුවීමක් මහනුවර අලදෙනිය පොලිස් වසමෙන් වාර්තා විය.

වෙළඳසලක් අසල වැටී තිබී ඇති එම මුදල් පසුම්බිය එම ප්‍රදේශයේම නිවසක ඇති කරනු ලබන සුරතල් සුනඛයකු විසින් ගෙනැවිත් ඇති අතර එය පරික්ෂා කිරීමේදී එහි මුදලින් රුපියල් 7000 ක් රුපියල් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු රන් මාලයක් තිබී හමුවී තිබෙයි.



පසුව තවත් පරික්ෂා කිරීමේදී එහි කොළයක ලියා තිබූ ජංගම දුරකථන අංකයක් දැක එම අංකයට ඔහුගේ මුදල් පසුම්බියක් නැති වී ඇති බවට තහවුරු කර ගැනීමෙන් පසුව අලදෙනිය පොලිස් ස්ථානාධිපතිවරයාව දැනුවත් කිරීමෙන් අනතුරුව ඔහු නිවසට කැඳවා මුදල් පසුම්බිය ලබාදීමට නිවැසියන් පියවර ගෙන තිබේ.

හාරිස්පත්තුව, කුළුගම්මන, මහතැන්න ප්‍රදේශයේ නිවසක ඇති කරන “නිකී” නමැති සුනඛයා පසුගිය 16 දින රාත්‍රියේ මෙම මුදල් පසුම්බිය නිවෙසට රැගෙන විත් ඇත.

මුදල් හා රන් මාලය හැරුණු විට හිමිකරු සොයා ගැනීම සඳහා අවශ්‍ය කිසිදු හැඳුනුම්පතක් හෝ ලියවිල්ලක් මුදල් පසුම්බියේ නොතිබීම නිසා හිමිකරු සොයා ගැනීම සඳහා නිවැසියන් මුහුණු පොතේ ඒ පිළිබඳ සටහනක් පළකර ඇත.



එම ගමට නුදුරු ගමේ පදිංචි කාන්තාවකගේ මුදල් පසුම්බිය නැති වී තිබෙන බවට පසුදින පෙරවරුවේ ගමපුරා තොරතුරක් පැතිර ගොස් තිබේ.

අලදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණි සේනාරත්න මහතා ද කැඳවා ඔහු අතින් අදාළ කාන්තාවගේ ඥාතියෙකුට මුදල් පසුම්බිය භාර දීමට නිවැසියන් කටයුතු කර තිබේ.

“නිකී” නමැති සුනඛයා සපත්තු සෙරප්පු, සම්බෑග් ආදිය දුටුවිට රැගෙන විත් ඒවා සපාකන බව නිවැසියන් පවසන අතර පාරේ වැටී තිබුණු මෙම මුදල් පසුම්බිය ද 16 දින රාත්‍රි 7.00ට පමණ “නිකී” විසින් රැගෙන එනු ලැබ ඇත.