drug-authority-bonus

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සේවකයන්ට ප්‍රසාද දීමනා  (බෝනස්) සහ දිරිදීමනා විධිමත් අනුමැතියකින් තොරව ලබාදීමෙන් රුපියල් කෝටි දාහතරක පමණ පාඩුවක් ඉකුත් 2020 වර්ෂයේ දී සිදුව ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි. සේවකයකු වෙනුවෙන් වාර්ෂිකව රුපියල් 13,500 ක පමණ ප්‍රසාද  දීමනා චක්‍රලේඛ ආකාරව ගෙවිය හැකි වුවද සංස්ථාව එම මුදලට  අමතරව මාසික වැටුප මෙන්ම රුපියල් 10,000 ක සභාපති ප්‍රසාද දීමනාවක්ද ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.



මේ අනුව සේවකයන් සඳහා චක්‍රලේඛ අනුමත සීමාව ඉක්මවා සහ විධිමත් අනුමැතියකින් තොරව 2020 වර්ෂයේදී ප්‍රසාද දීමනා ලෙස එකෝටි හැට පන් ලක්ෂයක මුදලක් වැඩිපුර ගෙවා තිබූ බව පවසන විගණන කාර්යාලය සේවකයන් සඳහා 2011 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා නිෂ්පාදන දිරිදීමනා ලෙස රුපියල් දොළොස්  කෝටියකට වැඩි මුදලක් වැඩියෙන් ගෙවා තිබූ බවද සඳහන් කරයි.  විගණන වාර්තාවේ දැක්වෙන අන්දමට රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සේවකයන් සඳහා දිරිදීමනා ලෙස 2020 වර්ෂයේදී  පමණක් වැඩිපුර ගෙවා ඇති මුදල රුපියල් දෙකෝටියකට ආසන්නය. තවද පැමිණීමේ දිරිදීමනා ලෙස මසකට එක් සේවකයකුට රුපියල්  දෙදහසක් පමණක් ගෙවීමට අනුමැතිය ලැබී තිබුණද එය රුපියල් 3500 ක් දක්වා වැඩි කර ගෙවා තිබූ බවද විගණන වාරතාන්වේ සඳහන් වේ.



මේ අතර නිලධාරියකුට ගෙවිය හැකි උපරිම ආපදා ණය මුදල  රුපියල් දෙලක්ෂ පනස් දහසකට සීමා කළ යුතුව තිබුණද 2020  වර්ෂයේ දී නිලධාරින් එකසිය එක් දෙනකුට එම සීමාව ඉක්මවා රුපියල් එක්කෝටි විසිහතර ලක්ෂයකට වැඩි මුදලක් ගෙවා තිබූ බව විගණන වාර්තාවේ දැක්වේ. වැඩ බැලීමේ කාලය මාස 3 ක උපරිමයකට යටත් විය යුතු වුවද නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (වට්ටෝරු හා පර්යේෂණ) තනතුර  සඳහා අඛණ්ඩව වර්ෂ තුනකට අධික කාලයක් වැඩ බැලීමේ පදනම  මත නිලධාරියකු බඳවා ගෙන සිටි බව විගණන කාර්යාලය පවසයි.


 සුජිත් හේවාජුලිගේ