dubai-sri-lankan

මෙරට කාන්තාවන් 60 දෙනකු පමණ ඩුබායි රාජ්‍යයේ අජ්මාන් නගරයේ රහසිගත නිවාසයක රඳවාගෙන ගෘහ සේවයට යවා මුදල් උපයාගන්නා ජාවාරමක් තිබෙන බවට ඊට හසුවූ කාන්තාවන් පිරිසක් හඬ පට මගින් මෙරට ඥාතීන්ට දැනුම් දී ඇත. ශ්‍රී ලාංකික කාන්තාවන් තිදෙනකු එම නිවාසය බාරව කටයුතු කරන අතර ඔවුන් ඩුබාහි  නිවාසවලට කතාකර කාන්තාවන් දින කීපයකට ඒවායේ ගෘහ සේවයට යවන අතර ඒ සඳහා ලැබෙන මුදල්ද ජාවාරම්කාර කාන්තාවන් විසින් ගනු ලබන බවද එම කාන්තාවන් හඩපටවලින් ප්‍රකාශ කර ඇත.

දින පහකට හෝ සතියකට ආදී වශයෙන්  ගෘහ සේවයට යොදවන කාන්තාවන්ට එම නිවෙස්හිමියන් කෑම බීම පවා නොදී දිනකට පැය 18ක පමණ කාලයක් වැඩ ගන්නා බවද එහෙත් ඔවුන්ට කිසිදු මුදලක් නොලැබෙන බවද ඔවුන් හඩපට ඔස්සේ ප්‍රකාශ කර ඇත. අනුරාධපුරය, කුරුණෑගල ආදී ප්‍රදේශවල කාන්තාවන් මෙම ජාවාරමේ සිරකාරියන්ව සිටින බවත් ඒ අතර වයස අවුරුදු 60ක කාන්තාවන් දෙදෙනකු සිටින බවත් ඔවුන් ප්‍රකාශ කර ඇත.



මෙම සිද්ධියට මුහුණ දුන් අනුරාධපුරය පරසන්ගස්වැව පදිංචි තුෂාරා නිල්මිණි මහත්මිය අදහස් දක්වමින් මෙසේ කීවාය. මම ඉකුත් ජුනි මාසයේ ඩුබායිවලට ගියා. කුරුණෑගල ඒජන්සියකින් ගියේ. මම මුලදී මාසයක් පමණ නිවසක හිරකරගෙන හිටියා. පස්සේ ගෙදරකට දැම්මා. ඒ ගෙදර මැඩම් මානසික රෝගියෙක්. මට එතන හරි කරදර වුණා, මම ගෙදරට සියලු විස්තර කිව්වා. මගේ මහත්තයා ඉඩමයි ගෙයයි උකස් කරලා මාව ලංකාවට ගෙන්න ගත්තා. මේ සම්බන්ධයෙන් විදේශ සේවා කාර්යාලයට පැමිණිල්ලක් කළා. කිසිම පිළිතුරක් නැහැ.

ඩුබායි රාජ්‍යයේ සිරවී සිටින කාන්තාවකගේ සැමියා වන අනුරාධපුරය පරසන්ගස්වැව පදිංචි එස්.ඒ. මංගලසේන මහතා මෙසේ කීවේය. මගේ බිරිඳ කුරුණෑගල ඒජන්සියකින් රට ගියා. එහේදි මාස තුනක්ම ගෙදරක ඉඳලා තියනවා.

වරින්වර එක එක ගෙවල්වල වැඩට දානවාලු. ඒවායින් කන්න බොන්න දෙන්නෙවත් නැහැලු. අපට කෝල් කර කර දුක කියනවා. කොහොම හරි ගෙන්න ගන්නලු. නැත්නම් සියදිවි හානිකර ගන්නවලු. මම අතරමැදියෙකුට කතා කළා. ගෙන්නල දෙන්න රුපියල් ලක්ෂ 5 ඕනලු. මට ඒ තරම් මුදලක් නැහැ. අපි හරි අසරණ වෙලා.
(බී. ජී චතුරංග)