election-postponned-game

මැතිවරණ කල් දැම්මට සූදානම් වන බවට වර්තමාන ආණ්ඩුවටත් මේ වන විට චෝදනා එල්ලවෙමින් තිබෙන අතර, කල්යමින් තිබෙන මතිවරයා වන්නේ පළාත් සභා හා පළාත් පාලන මැතිවරණ වේ. මෑත කාලය සලකා බැලීමේදී මැතිවරණ කල් දැමීමේ විශාලම චෝදනාව එල්ල වී තිබෙන්නේ එක්සත් ජාතික පක්ෂයට වන අතර, ඒ 1982දී ලාම්පු කළගෙඩි සෙල්ලම හරහා මැතිවරණ කල් දැමීමට කටයුතු කිරීම නිසාය. මීට අමතරව පළාත් සභා මැතිවරණය කල් දැමීම පිළිබදව යහපාලන ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබෙන අතර, පළාත් පාලන ආයතන මැතිවරණය කරදැම්ම පිළිබදව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට චෝදනා එල්ල වී තිබේ. පවතින ආර්ථික අර්බුදය තුළ මතිවරණ කල් දැමීම හොද දෙයක් බවටත් ඇතැම් පිරිස් සලකන නමුත්, ප්‍රජාතන්ත්‍රවාදය තුළ අදාළ ආයතනවලට මහජන නියෝජිතයන් සිටිය යුතුය. පළාත් සභා රටේ මුදල් විනාශ කර දමන ස්ථානයක් බවට චෝදනා එල්ලවී තිබෙන අතර, පළාත් සභා ක්‍රමය තවමත් රට තුළ ක්‍රියාත්මක වන නිසා පළාත් සභාවලට අනිවාර්යයෙන්ම මහජන නියෝජිතයන් සිටිය යුතුය. පළාත් සභාවල නිල කාලය අවසන් වීම සැලකීමේදී 2017.09.26 වන දින සබරගමුව පළාත් සභාවේ නිල කාලය අවසන් වී තිබෙන අතර, 2017.9.30 නැගෙනහිර පළාත් සභාවේ නිල කාලයත්,

උතුරු මැද පළාත් සභාවේ නිල කාලය 2017.10.01 දිනත් අවසන් වී තිබේ. එමෙන්ම මධ්‍යම පළාත් සභාවේ නිල කාලය 2018.10.03 වන දිනත්, වයඹ පළාත් සභාවේ නිල කාලය 2018.10.10 වන දිනත්, උතුරු පළාත් සභාවේ නිල කාලය 2018.10.24 වන දිනත්, දකුණු පළාත් සභාවේ නිල කාලය 2019.04.10 වන දිනත්, බස්නාහිර පළාත් සභාවේ නිල කාලය2019.04.21 වන දිනත්, ඌව පළාත් සභාවේ නිල කාලය 2019.10.08 වන දිනත් අවසන් වී ඇත.පළාත් සභා මැතිවරණය කඩින්කඩ පැවැත්වීම නිසා, නිල කාලය අවසන් වීමත් කඩින්කඩ සිදුවූ අතර, කඩික්කඩ මැතිවරණ පැවැත්වීමේදී විශාල මුදල් නාස්තියක් සිදුවන නිසා එකම දිනකදී මැතිවරණ පැවැත්විය යුතු බවටත් කතාබහක් ඇතිව තිබුණි. එහෙත් අද වන තෙක් කඩින්කඩ හෝ එකම දිනයකදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නොහැකි වූ අතර, මේ නිසා පළාත් සභා පාලනය නිලධාරින් විසින් සිදුකරනු ලබයි. පළාත් සභා සීමා නිර්ණයේ පවතින  ගැටලු පෙන්වා පළාත් සභා මැතිවරණය කල් දමමින් තිබෙන අතර, මේ හරහා ජනතාවගේ ඡන්ද අයිතිය පැහැරගෙන තිබෙන බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන හා සිවිල් සංවිධාන පෙන්වා දෙමින් තිබේ. පළාත්පාලන ආයතන නොහොත් ප්‍රාදේශීය සභා හා නගර සභා සහ මහනගර සභාවල නිල කාලය මේ වසරේ මාර්තු මාසයේදී අවසන් වීමට නියමිතව තිබුණි. එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව විසින් එය වසරකින් කල් දැමීමට මේ වසරේ ජනවාරි මාසයේදී කටයුතු කළ අතර, විෂය භාර අමාත්‍යවරයාට පැවරී ඇති බලතලවලට අනුව මෙම කල් දැමීම සිදුවිය. එහෙත් මැතිවරණ කොමිසමට පැවරී ඇති බලතලවලට අනුව පසුගිය සැප්තැම්බර් 20 වන දිනෙන් පසු ඕනෑම මොහොතක මතිවරණය පැවැත්වීමේ බලය තිබේ. මැතිවරණ කොමිසමට මැතිවරණය පැවැත්වීමට බලය ලැබී ඇතත්, මේ වසරට අදාළ ජන්ද හිම් නාමලේඛනයේ වැඩකටයුතු අවසන් වී නොමැති නිසා තවමත් මැතිවරණයක් ප්‍රකාශයට පත්කිරීමට කොමිසම තීරණයක් ගෙන නොමැත. මේ අවස්ථාවේදී  මැතිවරණයක් ප්‍රකාශයට පත්කළහොත්, ඡන්දය දැමීමේ අයිතිය හිමිවන් පසුගිය වසරට අදාලව සකස්කර තිබෙන ඡන්ද නාමලේඛනයේ නම සදහන් පිරිසට පමණි. මේ අනුව මේ වසරේදී වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ලක්ෂ තුනකට පමණ ඡන්ද අයිතිය අහිමි වන බවටත් ගණන් බලා තිබෙන අතර, මේ නිසා මැතිවරණ කොමිසම උත්සාහ කරමින් තිබෙන්නේ එම තත්වය වළක්වා ගැනීමට බවත් වාර්ත වේ. මැතිවරණ කොමිසම මේ ආකාරයට ජනතාවගේ ද අයිතීන් සුරක්ෂිත කරමින්, පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට සැලසුම් කරන විට ඇතැම් දේශපාලනඥයන් විසින් පළාත් පාලන ආයතන පනතට විවිධ සංශෝධන ඉදිරිපත් කරමින් සිටින බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සදහන් කරයි. පළාත් පාලන ආයතන ගතහොත් නව මැතිවරණ ක්‍රමය හරහා පත්වන සභිකයන්ගේ ප්‍රමාණය අටදහසකට අධික පිරිසක් බවට පත් වී තිබේ. මේ නිසා ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන ආකාරයට සභිකයන් ප්‍රමාණය හරි අඩකින් අඩු කළයුතු බවට 2019 හා 2020 වසරවලද විශාල කතාබහක් ඇතිවී තිබුණු අතර, මැතිවරණ ක්‍රමයේ පවතින සුළු සුළු අඩුපාඩු කිහිපයක්ද සංශෝධනය විය යුතු බවටත් යෝජනා ඉදිරිපත් වී තිබුණි. එහෙත් ඊට අදාළව වැඩකටයුතු කිරීමට එම අවස්ථාවේදී පාලකයන් කටයුතු නොකළ අතර,

මතිවරණය වසරකින් කල් දැමීමට කටයුතු කළ අවස්ථාවේදී පවා මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙනු ලැබුවේ පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමයේ පවතින අඩුපාඩු කඩිනමින් විසදීමට ලක් කළයුතු බවයි. එහෙත් පළාත් පාලන ආයතන මතිවරණ ක්‍රමයේ පවතින අඩුපාඩු සකස් කිරීමට ගෙවී ගිය මාස 09ක කාලය තුළදී කිසිදු වැඩකටයුත්තක් සිදුකිරීමට පාලකයන් කටයුතු කලේ නැත. එසේ තිබියදී පළාත් පාලන ආයතන මතිවරණය පවත්වීමේ බලය මැතිවරණ කොමිසම සතු වීමත් සමග, පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමය පවතින අඩුපාඩුවලට සශෝධන ඉදිරිපත් කිරීමට ඇතැම් දේශපාලනඥයන් කටයුතු කරමින් සිටී. මෙම  සංශෝධන සිදුකළ යුතු බවට පාර්ලිමේන්තූව තුළ නිල වශයෙන් යෝජනා ඉදිරිපත් වුවහොත්, සිදුවන්නේ පළාත් පාලන ආයතන මැතිවරණයත් කල් යාම පමණකි. පළාත් පාලන ආයතන මැතිවරණ ක්‍රමයේ පවතින අඩුපාඩු නිවැරදි විය යුතු කාරණයකි. මේ නිසා පවතින අඩුපාඩු පිළිබඳව කතාබහක් ඇති වූයේ 2018 වසරේ තරම් ඈත කාලයක සිටය. පළාත් පාලන ඡන්ද ක‍්‍රමය ගැන මූලික විවේචනයට හේතු වන කරුණු සැලකීමේදී, පළාත් පාලන සභික සංඛ්‍යාව 8711 සිට එය අවම වශයෙන් 4000ත් 4500ත් සීමාවට අඩු කළයුතු බවට යෝජනා ඉදිරිපත් වී තිබේ. මීට අමතරව කාන්තා නියෝජනය සමස්ත මන්ත්‍රී සංඛ්‍යාවෙන් 25%ක් විය යුතු බවට යෝජනා වී තිබෙන අතර, වර්තමානයේදී එම ප්‍රමාණය 23.98%ක් බවට මතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙත්වා දෙයි. තවද තරහා නියෝජනය ඉහළ දැමිය යුතු බවටත් යෝජනා ඉදිරිපත් වී තිබේ. කොට්ඨාස මන්ත්‍රීවරු දූෂණ, අක්‍රමිකතා සිදුකරන විට  අදාළ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට නීතියක් පැවතිය යුතු බවටත් යෝජනා ඉදිරිපත් වී ඇත.මෙම යෝජනා රටට වැදගත් නිසා ඒවා සිදුකිරීම ගැන කිසිදු ගැටලුවක් නැත. එහෙත් ගැටලුව වී තිබෙන්නේ පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීමට ආසන්න කාලයේදී මෙම යෝජනා කරළියට ගෙන ඒමට කටයුතු කිරීමයි. සාධනීය යෝජනා කවුරුන් විසින් හෝ කෙදිනක හෝ සිදුකළ යුතුය. නමුත් එම කටයුතු සිදුවිය යුත්තේ මතිවරයක් නොමැති සමයකදීය. නමුත් පාලකයන්ට මැතිවරණ සංශෝධන සීමා නිර්ණය ගැටලු පෙනෙන්නේ මැතිවරණයක් වූ පසුවය. විධායක ජනාධිපති ධුරය රටට නොගැළපෙන නිසා එය අහෝසි කරන බවට පොරොන්දු ලබා දී තිබෙන්නේ 2004 වසරේ සිටය. එහෙත් අදටත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට අදාළව නිශ්චිත වඩපිළිවෙළක් සකස් කර ගැනීමට නොහැකි වී ඇත. තත්වය එසේ වුවත්, 2004න් පසු පැවැත්වූ සම ජනාධිපතිවරණයකදීම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට පොරොන්දු මතිවරණ වේදිකාවට ලබා දී තිබේ.

(ඉන්දික හේවාවිතාරණ)