fuel-ship

පසුගිය 23 වැනිදා මෙරට මුහුදු සීමාවට පැමිණි බොරතෙල් නැවක් දින 13ක් තිස්සේ මහ මුහුදේ නවතා ගෙන සිටින බවත්, මේ සඳහා දිනකට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් එක්ලක්‍ෂ පනස්දහසක් ගෙවීමට සිදුව තිබෙන බවත් ඉන්ධන, විදුලි, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. 

මේ වසරේ අප්‍රේල් මාසයේ සිට මේ දක්වා මෙරටට පැමිණ ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වූ බොරතෙල් නැව් සඳහා දිනකට ඩොලර් එක්ලක්‍ෂ විසිදහසක් බැගින් ගෙවීම කළ බවත්, එහෙත් පසුගිය 23වැනිදා පැමිණි නැවට ප්‍රමාද ගාස්තු ලෙස ඩොලර් එක්ලක්ෂ පනස්දහස බැගින් ගෙවීමට සිදුව තිබෙන බවත් එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය. මේ වසරේ අප්‍රේල් මාසයට පෙර ප්‍රමාද ගාස්තු ලෙස දිනකට ගෙවීම සිදුකරනු ලැබුවේ ඩොලර් විසිපන්දහසක මුදලක් බවත්,


මේ නිසා මේ ආකාරයට දෛනික ප්‍රමාද ගාස්තු මුදල ඉහළ යාම පිළිබඳ වහාම පරික්ෂණයක් සිදුකළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.පිරිපහදුවට ගැළපෙන්නේ ඕමාන් මර්බන් බොරතෙල් බවත්, මේ නිසා මෙම බොරතෙල් ගෙන්වන ලෙස සංස්ථා සේවකයන් දිගින් දිගටම ඉල්ලා සිටියදී මේ වනවිට රැගෙනවිත්  තිබෙන්නෙත් රුසියානු බොරතෙල් වර්ගයක් බවත් පවසා සිටි ආනන්ද පාලිත මහතා, මෙම බොරතෙල් වර්ගය කිසිදු දිනක මෙරට පිරිපහදුව භාවිත කර නොමැති බවද සඳහන් කළේය. මීට පෙර රුසියානු ඌරල් නමැති බොරතෙල් ගෙන් වූ බවත්, එම බොරතෙල් පිරිපහදු කිරීමෙන් වැඩිපුර ලැබෙමින් තිබෙන්නේ දැවිතෙල් වන අතර, එම දැවිතෙල්ද ප්‍රමිතියෙන් තොර වී තිබෙන බවත් ඒ මහතා පැවසීය. 

 

මේ නිසා දැවිතෙල්වල ප්‍රමිතිය ලබාගැනීමට සුපර් ඩීසල් කවලම් කිරීමට සිදුව තිබෙන බවත්, ඔස්ටේන් 90 වර්ගයේ පෙට්‍රල් නිෂ්පාදනය වී තිබෙන නිසා ඔක්ටේන් අගය 92 බවට පත් කිම සඳහා ඔක්ටේන් 95 පෙට්‍රල් කවලම් කිරීමට සිදුව තිබෙන බවත් ආනන්ද පාලිත මහතා ප්‍රකාශ කළේය. මර්බන් බොරතෙල් බැරලයක් ඩොලර් 90කට මිලදී ගැනීමට හැකියාව තිබෙන බවත්, එහෙත් මේ වනවිට ගෙවා තිබෙන බොරතෙල් සඳහා ඊට වැඩි ඩොලර් ප්‍රමාණයක් ගෙවීමට සිදුව තිබෙන බවත් ප්‍රකාශ කළ හෙතෙම, වැඩි මිලට බොරතෙල් ගෙවීමට කටයුතු කළද, මෙම බොරතෙල් තුළින් පෙට්‍රල්, ඩීසල් හා භූමිතෙල් නිෂ්පාදනය විශාල ලෙස අඩු වී තිබෙන බවද පවසා සිටියේය.

(එච්.අයි. තුෂාර)