galewela-ruwan-arrested

දැලිපිහි, කඩු පෙන්වා දුර ගමන් සේවා බස් රථවලින් කප්පම් ගත් සැකකරුවෝ දෙදෙනකු ගලේවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

“ගලේවෙල රුවන්’’ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකු වසර පහළොවක් සිට මිනිසුන් බිය ගන්වා කප්පන් ගැනීමේ නිරතව සිට ඇත. දුර ගමන් සේවා බස් රථවල බොහෝ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් සැකකරුට බියේ පොලිසියට පැමිණිලි සිදු කර නොමැති බවද විමර්ශනවලදී හෙළි වී ඇත.


සැකකරු දිනක් පැමිණ කොන්දොස්තරවරයා බිය ගැන්වූ ආකාරය බස් රථයක සවි කර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණේය. ගලේවෙල, කුරුණෑගල, මාලිගාවත්ත, දෙමටගොඩ, කිරිබත්ගොඩ ඇතුළු පොලිස් ස්ථාන දහතුනට සැකකරුට එරෙහිව මුදල් කොල්ලකෑම් සහ තියුණු ආයුධවලින් කපා කොටා තුවාල සිදු කිරීම සම්බන්ධව ද පැමිණිලි ලැබී තිබිණි.

සැකකරු සමග තවත් හය දෙනකු මෙම කප්පම් ක්‍රියාවේ නිරත වන බවට පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.

කොළඹින් පිටත්වන දුර ගමන් සේවා වන ඔරුගොඩවත්ත, මාලිගාවත්ත, මිරිස්වත්ත, නිට්ටඹුව, කුරුණෑගල, ගලේවෙල, දඹුල්ලේදී බස් සඳහා ගොඩවී රම්බෝ පිහියක් සහ දැලිපිහියක් පෙන්වා මොහු දිගින් දිගටම කප්පම් ලබාගෙන ඇතැයි වාර්තා විණි.

කප්පම් මුදල් නොදුන් කොන්දොස්තරවරුන් සහ රියැදුරන් කිහිපදෙනකුගේද අත්පා, ඇඟිලි කපා ඇතැයි ද පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇත. 


(වසන්ත ඒකනායක - නිට්ටඹුව)