galle-face-police-child-abuse

ගාලුමුවදොර පිටියේදී පෙරේදා (09දා) පැවති සාමකාමී විරෝධය අතරතුර දී පාසල් සිසුවකු හා කුඩා දරුවන් බියට පත් වන ආකාරයට පොලිස් නිලධාරින් කිහිපදෙනෙකු කටයුතු කිරීම පිළිබද ජාතික ළමා ආරක්ෂක අධිකාරියට ඊයේ (10) පැමිණිලි කළ බව ලංකා ගුරු සංගමය සදහන් කරයි.

පොලිස් නිලධාරින් හා නිලධාරිනියන් එම ස්ථානයට පැමිණ උද්ඝෝෂකයන්ට බාධා පමුණුවමින් උද්ඝෝෂණය යෙදී සිටින පුද්ගලයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද එම සංගමයේ ලේකම් ජෝශප් ස්ටාලින් මහතා පැවසීය.

එම අවස්ථාවේදී වයස අවුරුද්දක් වන කුඩා දරුවකු ඔසවාගෙන සිටින පියකුගෙන් දරුවා උදුරා ගැනීමට තැත් කළ බවත්, එම කලබලයට මැදි වූ දරුවා බියට පත්ව වමනය ඇතුළු සංකූලතා ගණනාවකට ලක්ව පෙරේදා (09 ) වැනිදා රාත්‍රියේ රිඡ්වේ ආර්ඩ් ළමා රෝහලට ඇතුළත් කළ බවත් හෙතෙම ප්‍රකාශ කළේය.මීට අමතරව ළාබාල දැරියකගේ මවක අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරිනියන් පිරිසක් උත්සාහ කළ බවත්,


එම උත්සාහයේදී බියට පත්ව තම මව ළගට සමීපවීමට උත්සාහ කළ දැරිය පසකට ඇද දමමින් දැරියට හිංසා වන ආකාරයෙන් පොලිස් නිලධාරිනියන් කටයුතු කළ බවත් ලේකම්වරයා සඳහන් කළේය.

එසේම මෙම ස්ථානයේදී 16 හැවිරිදි පාසල් සිසුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කළ අතර, එම සිසුවා තම මව සමග පැමිණි තිබෙන බවත්, එහිදී සිසුවා විරෝධතාව වීඩියෝගත කරමින් සිට තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. අදාල ස්ථානය ගැටුම් ඇති වන ස්ථානයක් නොවන බවත්, ඉරිදා වැනි නිවාඩු දිනයන්හිදී විශාල පිරිසක් තම නිදහස් කාලය ගත කිරීමට පැමිණෙන ස්ථානයක් බවත් පවසා සිටි ලේකම්වරයා,


මෙවැනි ස්ථානයක සාමකාමීත්වය නැති කර කලබල කිරිමේ පොලිස් නිලධාරින්ගේ ක්‍රියා කලාපය හේතුවෙන් දරුවන් දැඩි පීඩනයකට ලක් වූ බවද පැවසීය.මේ නිසා මේ පිළිබද වහා පරික්‍ෂණයක් සිදුකරන ලෙස හා, මෙම සිද්ධියේදී දරුවන්ට නිංසා කළ පොලිස් නිලධාරින් හා නිලධාරිනියන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කළ බවද හෙතෙම සඳහන් කළේය.


(එච්.අයි. තුෂාර)