gotabaya-lalith-kugan

සමාජ ක්‍රියාකාරීන් දෙදෙනකු වන ලලිත් සහ කූගන් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් උසාවියේ විභාගවන නඩුවට සාක්ෂි දීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කැඳවීමට බලයක් නොමැති බවට ප්‍රකාශ කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගොනුකර ඇති විශේෂ අභියාචනා පෙත්සමේ වගඋත්තරකාර හිටපු ජනාධිපති ගෝඨාභය රාප්පක්ෂ මහතාට යළි · නොතීසි බාරදෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන්ට නියෝග කළේය. අධිකරණය මෙසේ නියෝග කළේ ලලිත් සහ කූගන් මහත්වරුන්ගේ දෙමාපියන් ගොනුකර තිබූ විශේෂ අභියාචනා පෙත්සම ගාමිණී අමරසේකර, යසන්ත කෝදාගේඩ සහ ඒ.එච්. එම්. නවාස් යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ සලකා බැලූ අවස්ථාවේදීය. වගඋත්තරකාර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් නීතිඥ නියෝජනයක් නොවූයෙන් ඔහුට යළි නොතීසි බාර දෙන ලෙස පෙත්සම්කාර පාර්ශ්වයට අධිකරණයෙන් නියෝග කෙරිණි. විශේෂ අභියාචනා පෙත්සමේ මෙසේ ද සඳහන් වේ.

2011 වසරේ සමාජ ක්‍රියාකාරින් දෙදෙනකු වන ලලිත් සහ කුගන් පැහැරගෙන යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබිණි. එම නඩුවේ සාක්කිකරුවකු හැටියට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රිට් පෙත්සමක් ගොනුකර තිබූ අතර, ඒ අවස්ථාවේදී එම රිට් පෙත්සම විභාගයට ගැනීමෙන් පසුව ජනාධිපති ධුරයේ කටයුතු කළ බැවින් සාක්ෂියට කැඳවිය නොහැකි බවට අභියාචනාධිකරණය තීන්දු කර තිබිණි.

එම තීන්දුවෙන් අගතියට පත් ලලිත් සහ කූගන් දෙපළගේ දෙමවුපියන් ඊට එරෙහිව මෙම විශේෂ අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කෙරිණි. අදාළ තීන්දුව බල රහිත කර හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාක්කියට කැඳවීමට නියෝග කරන ලෙස මෙම විශේෂ අභියාචනා පෙත්සමෙන් ඉල්ලා ඇත. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ නුවන් බෝපගේ මහතා පෙනී සිටියේය.

( රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස්. රුද්‍රිගු)