homagama-theft-minister-home

ඇමැතිවරයකුගේ ඥාති නිවසකින් රුපියල් ලක්ෂ තිස් හතක් වටිනා රන් භාණ්ඩ හා ජංගම දුරකතන හතරක් සොරාගත් හමුදා සෙබළකු ඔහුගේ බිරිය සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, දොඩන්දුව ප්‍රදේශයේ පදිංචි පල්ලෙකැලේ 6 වැනි ඉංජිනේරු බළකා කඳවුරට අනුයුක්තව සේවයේ නිරත සෙබළකු සහ ඔහුගේ බිරිඳ බව පොලීසිය කියයි. මෙම සෙබළා මීට මාස කිහිපයකට පෙර පුහුණු පාඨමාලාවක් සදහා පනාගොඩ යුද හමුදා කඳවුරට පැමිණ සිටියදී හෝමාගම ප්‍රදේශයේ පිහිටි ඇමතිවරයකුගේ ඥාති නිවසක කුලී පදනම මත පදිංචිකරුවන්ට අයත් ජංගම දුරකථන හතරක් සහ රන් භණ්ඩ තොගයක් මෙසේ සොරාගෙන තිබූ බව පොලිසිය කියයි.



ඉකුත් පෙබරවාරි 2 මැයි 4 සහ අගෝස්තු 17 යන දිනවලදී සැකකරු මෙම නිවෙසට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 19 ක් වටිනා ස්මාට් වර්ගයේ ජංගම දුරකතන හතරක් සහ රුපියල් ලක්ෂ 18 ක් වටිනා රන් භාණ්ඩ තොගයක් මෙසේ සොරාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි. මේ පිළිබඳව ලද පැමිණිලිවලට අනුව හෝමාගම පොලිසිය මෙන්ම නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ද විමර්ශන ආරම්භ කර තිබුණි.  ඒ අනුව අස්ථානගත වූ ජංගම දුරකතනයක විස්තර වාරිතාවක් කැඳවීමේ දී ඉන් එක් දුරකතනයක් ගාල්ල,  දොඩන්දුව ප්‍රදේශයේ කිසියම් අයකු පරිහරණය කරන බවට ලද තොරතුරු වාර්තාවට අනුව නුගේගොඩ  කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් එම නිවෙසට ගොස් පරික්ෂා කිරීමේ දී සොරාගත් බවට සැක කෙරෙන එක් ජංගම දුරකතනයක් නිවසේ දරුවකු පරිහරණය කරමින් සිටියදී භාරයට ගත් බව පොලිසිය කියයි.

පසුව එම දුරකතනයේ ඉමි අංකය පරික්ෂා කිරිමේදී එය අස්ථානගත වූ දුරකතනයක් බවට අනාවරණය වීමත් සමඟ නිවසේ කාන්තාව  අත්අඩංගුවට ගෙන හෝමාගම අධිකරණයට ඉදිරිපත්  කිරිමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබ සිටියාය.  එහිදී සැකකාරියගෙන් ලද තොරතුරකට අනුව සැකකාර හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ලද තොරතුරකට අනුව රන් භාණ්ඩ තොගය උකස් කර තිබියදී සොයා ගැනිණි.

සොරාගෙන තිබූ අනිත් ජංගම දුරකතන තුන ද සොයාගැනිණි.  තවදුරටත් ප්‍රශ්න කිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරු ශ්‍රී ලංකා යුද හමුදාවේ හයවැනි ඉංජිනේරු බළකායට අනුයුක්තව සේවය නිරත පුද්ගලයකු බවත් පොලිසිය පවසයි. අනියම් සම්බන්ධතා කිහිපයක් පවත්වාගෙන යමින් ඔහු කාන්තාවන්ගේ මනදොළ සපුරාලීම සඳහා මෙසේ සොරකමට ඇබ්බැහි වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඉකුත් 29 වැනිදා හෝමාගම මූලස්ථාන පොලිසියට භාර දීමට නියමිතව සිටියේය.  සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේවගේ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් වැටලීම සිදුකොට පරීක්ෂණ පවත්වති.