isipathana-college-principal

කොළඹ ඉසිපතන විදුහලේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ කාමර හතරක් එකතුකර විදුහල්පතිවරයා සුඛෝපභෝගී නිල නිවසක් තනාගෙන තිබේ. කාමර හතර එකතු කිරීම සඳහා ආදි ශිෂ්‍ය සංගමයෙන් රුපියල් ලක්ෂ අසූවක් පමණ වැයකර තිබෙන බව පැවසේ. සිසුන් විසිපස් දෙනකුට එකවර රෙදි සේදිය හැකි ස්ථානයක් ද නිල නිවසට එක්කර ඇත. මෙම නිල නිවස තනාගෙන ඇත්තේ තවත් නිල නිවසක් තිබිය දී බව පාසල් ආරංචි මාර්ග පැවසීය. එම නිල නිවස වෙනත් ගුරුවරයකුට ලබා දී තිබේ. මෙම නිල නිවස තනාගෙන ඇත්තේ කොළඹට නුදුරින් විදුහල්පතිවරයාට පෞද්ගලික නිවසක් තිබිය දී වීම විශේෂත්වයකි.

නේවාසිකාගාරය ඉදිකර ඇත්තේ මීට පෙර සිටි විදුහල්පතිවරුන් කිහිප දෙනකුගේම උත්සාහයෙනි.

සිසුන් අසූ දෙනකුට පමණ එහි නේවාසික පහසුකම් පවතී. ශිෂ්‍යත්ව විභාගය සමත්ව මෙම පාසලේ හය වැනි ශ්‍රේණියට ඇතුළත් වන සිසුන්ගේ පහසුව වෙනුවෙන් මෙම නේවාසිකාගාරය වෙන්කර තිබේ.

තමන් මෙම නිල නිවස ඉදි කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙන්ම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය මත බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් ඉසිපතන විදුහලේ විදුහල්පති ඔෂාර පණ්ඩිතරත්න පැවසීය. තමන්ට පෞද්ගලික නිවසක් තිබෙන බවත් මෙතෙක් පාසල් පැමිණියේ එම නිවසේ සිට බවත් කී විදුහල්පතිවරයා මෙම නිල නිවස ඉදිකළේ තමන්ටත් වඩා අනාගතයේ පැමිණෙන විදුහල්පතිවරුන්ගේ පහසුව වෙනුවෙන් බවත් සඳහන් කළේය.



රෙදි සේදීම සඳහා වෙනම ස්ථානයක් තිබූ නමුත් සිසුන් එම ස්ථානය පාවිච්චි කර නැතැයි ද නිල නිවසට එම ස්ථානය ද එක්කර ගත්තේ රෙදි සෝදන යන්ත්‍ර දෙකක් නේවාසිකාගාරයට ලබා දීමෙන් පසුව බවත් විදුහල්පතිවරයා කීවේය. මේ වන විට වැඩ තහනමකට ලක්ව සිටින බම්බලපිටිය හින්දු කාන්තා විදුහලේ විදුහල්පතිනිය ද සිසුවියන්ගේ නේවාසිකාගාරයක කාමර දෙකක් එක්කර නිල නිවසක් තනාගෙන සිටි බවට ද චෝදනා එල්ල විය.

(aruna)