kalpitiya-hospital-incident

කල්පිටිය මූලික රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියකට වූ ලිංගික අතවරයක් සම්බන්ධ සිද්ධියක දී රෝහල් පාලනාධිකාරිය වගකීම් විරහිතව කටයුතුකර ඇතැයි චෝදනා එල්ලවේ.

එම රෝහලේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක නිල නිවාසයේ තනිව සිටිය දී කළු පැහැ ඇඳුමක් පැලඳ මුහුණ ආවරණය කරගත් පුද්ගලයකු පැමිණ ඇයට ලිංගික අතවර කිරීමට තැත් කළ බව පසුගිය සිකුරාදා (14 වැනිදා) කල්පිටිය පොලිසිය වෙත ඇය කළ පැමිණිල්ලක සඳහන්වේ.

රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය අධිකාරිවරයාට මෙම සිද්ධිය පැවසුවත් “ඕක පොලිසියට කියාගන්න“යැයි ඔහු එම අවස්ථාවේ පැවසූ බවත් ඒ අනුව රෝහලේ වෛද්‍යවරයකු හා හෙද සොයුරියක සමග ගොස් කල්පිටිය පොලිසියට පැමිණිල්ලක් කළ බවත් එම පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය පවසයි.



එමෙන්ම සිද්ධිය වූ දිනට පසුදින උදෑසන 11.00 ට පමණ රෝහල් අධ්‍යක්ෂවරයාගේ නිල කාමරයට තමා කැඳවා “මේක මේ රෝහලට අලුත් දෙයක් නෙමේ.. සාමාන්‍ය සිදුවීමක්.. නිසා ගණන් ගන්න එපා“ යැයි අධ්‍යක්ෂවරයා සඳහන් කළ බවත් ඇය කියා සිටී.

මේ නිලධාරිනිය කරන ලද පැමිණිල්ලට අනුව කල්පිටිය පොලිසිය විමර්ශන කළත් සැකකාර පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැත.

සෞඛ්‍ය සේවා නිලධාරිනිය නිල නිවසේ තනිව සිටිය දී ඊට ඇතුළු වී ඇති සැකකරු නිලධාරිනිය කෑ ගසද්දී ඇයගේ දෑත් තදකරමින් ඇයට අතවර කිරීමට උත්සාහා දරා ඇති බවත් සැකකරු සමග පොර බැදීම හමුවේ ඇය බිම වැටී ඇති බවත් පසුව සැකකරු එම ස්ථානයෙන් පලාගොස් තිබෙන බවත් කල්පිටිය පොලිසිය පවසයි.

සිද්ධිය වූ ස්ථානයේ තිබී සැකකරුගේ යැයි සැකකරන ලේන්සුවක් හමුවූ බව ද එකී නේවාසිකාගාරය තරුණියකට වාසය කිරීමට තරම් ආරක්ෂිත මට්ටමක නොවන බව ද පොලිසිය කියා සිටී. මෙම නිලධාරිනියට ඇතිවූ මානසික පීඩාව හේතුවෙන් මේ වන විට ඇය මාවතගම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගන්නා අතර මාවතගම පොලීසියටද මේ සම්බන්ධයෙන් ඇය කට උත්තර ලබාදී ඇත.



මේ අතර මෙය මෙම රෝහලේ පළමු සිදුවීම නොවන බවට හෝ මෙය සාමාන්‍ය සිදුවීමක් වන බවට තමන් සඳහන් නොකළ බවත් මේ ආකාරයේ සිදුවීමක් කල්පිටිය රෝහලෙන් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන කරන්නැයි තමන් පොලිසියෙන් ඉල්ලා සිටි බවත් රෝහල් අධ්‍යක්ෂවරයා කළ විමසුමක දී කියා සිටියේය.

එෆ්.අස්ලම් (Aruna)