kerosine-oil-fisheries

භූමිතෙල් නොමැති වීම නිසා මේ වනවිට සුළුපන්න ක්‍රම මගින් ධීවර රැකියාවේ නිරතව සිටි ලක්ෂයකට අධික ධීවරයන්ට රැකියා අහිමි වී තිබෙන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය සඳහන් කරයි. පිරිපහදුව වැසී යාමත් සමග භූමිතෙල් නිෂ්පාදනය නැවතී ගොස් තිබෙන බවත්, මේ නිසා භූමිතෙල් යොදා ගන්නා යාත්‍රා 27,000කට අධික ප්‍රමාණයක ධීවර කටයුතු සඳහා මුහුදු යාමට නොහැකි වී තිබෙන බවත් එම සංගමයේ සභාපති රොෂාන්ත මහතා පැවසීය.

මේ වසරේ පසුගිය මාස කිහිපය සැලකීමේදීත් භූමිතෙල් නොමැති වීම නිසා මාස හතරකට ආසන්න කාලයක් ධීවරයන්ට රැකියා අහිමි වී තිබූ බවත්, ඉන් පසුව තෙල් මිල ඉහළ දමා තුමිතෙල් ලබාදීමට රජය කටයුතු කළ බවත් හෙතෙම පවසා සිටියේය.

භූමිතෙල් මිල අධික ලෙස ඉහළ දැමීම නිසාත්, ධීවර ජනතාව දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටි බවත්, මේ වනවිට ඉහළ දැමූ මිලටවත් භූමිතෙල් සොයාගැනීමට නොමැති බවත් සභාපතිවරයා සඳහන් කළේය. මේ නිසා භූමිතෙල් උපයෝගී කරගෙන ධාවන කටයුතු සිදුකරන සියලුම යාත්‍රාවල සේවය කරන ධීවරයන්ට හා යාත්‍රා හිමියන්ට ජීවත්වීම සඳහා රජයෙන් සහනාධාරයක් ලබාදිය යුතු බවද ඒ මහතා පවසා සිටියේය. මෙම යාත්‍රා 27,000කට අධික ප්‍රමාණය සැලකීමේදී එක් යාත්‍රාවක ධීවරයන් 02ක් හෝ 04ක් වශයෙන් රැකියාවේ නිරත වන බවත්, මීට අමතරව සමහර යාත්‍රාවන් සඳහා  ධීවරයන් 08ක් 10ක් අතර සිටින අවස්ථා තිබෙන බවත් පවසා සිටි සභාපතිවරයා, එම පිරිස් මාරුවෙන් මාරුවට අදාළ යාත්‍රාවෙන් රැකියා කටයුතු සඳහා ගමන් කරන බවද සඳහන් කළේය.

  (ඉන්දික හේවාවිතාරණ)