maithripala-speaks
හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන් කිසිසේත්ම තමන්ගේ මාධ්‍ය ඒකකයේ තිබුණ භාණ්ඩ අරගෙන යාමට තරම් පහතට වැටුණු කෙනෙක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.



ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (27දා) පොළොන්නරුවේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෙත්‍රීපාල සිරිසේන මහතා, "සමහර රූපවාහිනී නාලිකාවල, සමාජ මාධ්‍යවල, වෙබ් අඩවිවල තිබුණා වැරදි ප්‍රවෘත්තියක්. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියෙන් කඳුරුවෙල භාගෙට ගොඩනැගිල්ලක් හදලා තියෙනවා නොයෙකුත් වැරදි එතන දැන් සිදුවෙනවා, නීතිවිරෝධී දේවල් වෙනවා කියලා කියනවා.




මම පැහැදිලිව කියන්න ඕන කදුරුවෙල බස්නැවතුම්පොළට පිටුපස තියෙන මේ ගොඩනැගිල්ල රජයේ ගොඩනැගිල්ලක් නෙමෙයි. රජයේ මුදල් සතයක්වත් යොදවපු එකක් නෙමෙයි. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියට අයිති එකකුත් නෙමෙයි. පොළොන්නරුව සමූපකාර මණ්ඩලය සහ මඩකලපුවේ ව්‍යාපාරික මහත්තයෙක් එක්ක ගිවිසුම් ගතවෙලා සිනමා ශාලාවක් හදන්න කියලා තමයි මේක කළේ. මම එතනට ගිහින් තියෙනවා. සිනමා ශාලාවක් පොළොන්නරුවේ තියෙනවා නම් හොඳයි. පස්සේ ඒ ව්‍යාපාරික මහත්මයා බංකොළොත් වෙලා දාලා ගිහිල්ලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. මම කනගාටු වෙනවා මම සම්බන්ධයි කියලා මහජනතාව නොමග යවන විදිහේ පුවත් පළ කිරීම ගැන. ඒ වගේම තමයි ජනාධිපති ලේකම් කාර්යාලයේ කෝටි තුනහමාරක බඩු භාණ්ඩ අස්ථානගත වෙලා කියලා විගණන වාර්තාවකින් කියවෙනවා කියලා. පත්තරවල පුවත් පළ වෙලා තිබුණා මට චෝදනා කරන ආකාරයෙන්.


මම ඒ විගණන වාර්තාව දැක්කේ නෑ. විගණකාධිපතිතුමාගෙන් ඉල්ලා ගන්නවා එය. කිසිසේත්ම ජනාධිපතිවරයාට, ජනාධිපතිවරයාගේ කාර්යාලවල තියනෙ ගොඩනැගිලි, සම්පත් අයිති නැහැ.

පෑනක් පැන්සලක්වත් ජනාධිපතිවරයා භාරයේ නෑ. ඒවා භාරව නිලධාරී මහත්වරු ඉන්නවා. අනුරාධපුරේත්, කතරගම ජනාධිපති මන්දිරවලත්  රූපවාහිනී අතුරුදන් වෙලා තියෙනලා කියලත් තිබුණා. මම ඉතාම පැහැදිලිව කියන්න ඕනෑ මාධ්‍ය අංශයේ තමයි විශාල වශයෙන් බඩු අතුරුදන් වෙලා තියෙන්නේ කියලා තිබුණා. මාධ්‍ය අංශය විතරක් නෙමෙයි අනෙකුත් සෑම අංශයක් භාරවම නිලධාරීන් ඉන්නවා.


මම දන්න විදිහට මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා 2019 ජනාධිපති වුණ ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් කාර්යමණ්ඩල වෙත ලිඛිතව භාරදුන්නා.යම් කිසි බඩු භාණ්ඩ හිඟයක් තිබෙනවා නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. ජනාධිපතිවරයෙක් විදිහට සර්කිට් බංග්ලො එකක තියෙන කබල් රූපවාහිනියක් ගේන්න, නැත්නම් මාධ්‍ය ඒකකයේ තියෙන මොනවා හරි බඩු අරගෙන යන්න තරම් පහතට වැටිච්ච කෙනෙක් නෙමෙයි මම. මම කවදාවත් වංචාවක් දූෂණයක් කරපු නැති කෙනෙක්. මම රජයෙන් ඉල්ලා සිටිනවා මේ ගැන පරික්ෂණයක් කරන්න අපිත් ඒ සඳහා සහාය දෙනවා" ' යනුවෙන් පැවසීය.

(පොළොන්නරුව - තුෂාර තෙන්නකෝන්)