melsiripura-myastery-death

කුරුණෑගල මැල්සිරිපුර රේස්වත්ත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි ඇමෙරිකන් පුරවැසිභාවය හිමි නාවික ඉංජිනේරුවරයා ඝාතනය කිරිමට සම්බන්ධ බවට සැලකෙන සේවකයා සියදිවි නසා ගැනීමට පෙර වැල්ලව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකට ගොස්

ඉංජිනේරුවරයාගේ ගිණුමෙන් අවස්ථා තුනකදී ඇමරිකන් ඩොලර් නෝට්ටු රැගෙන ගොස් ඇති බව පරික්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.නාවික ඉංජිනේරු චිත්‍රානන්ද ජයරත්න (72) නමැත්තා ඝාතනය කර වළ දැමීමෙන් පසු, ඔහුට අයත් බැංකු කාඩ්පත සොරාගෙන ගොස් ඇමෙරිකන් ඩොලර් 500 බැගින් අවස්ථා දෙකක දී ලබාගෙන ඇති අතර, තවත් අවස්ථාවක ඇමරිකන් ඩොලර් 250 ක් ද ලබාගෙන ඇති බව පොලිසිය හෙළි කරගෙන ඇත. මෙම බැංකුවේ සීසීටීවී කැමරා පරීක්ෂාකර බැලීමේදී, මෙම පුද්ගලයා මුදල් රැගෙන යන අයුරු දැකගැනීමට ලැබුණු බව පොලිසිය කියයි. මෙම නාවික ඉංජිනේරුවරයා ඝාතනය කිරීමෙන් පසුව එල්ලී මියගොස් ඇත්තේ මිලින්ද රුක්ෂාන් (42) නමැත්තෙකි.




ඝාතනය කෙරුනු ජයරත්න නමැත්තා ද, රුක්ෂාන් නමැත්තා සහ තවත් අයෙක් ද හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී ඉකුත් සැප්තැම්බර් මස 27 වැනිදා ගොකරැල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිළිගැනීම නිසා ඔවුන් දඩ නියමකර මුදාහැර ඇතැයි ද පොලිසිය සදහන් කරයි. රුක්ෂාන් නමැති පුද්ගලයා මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටි අයකු බවත් ඔහු ජයරත්න මහතා ද මත්ද්‍රව්‍ය පානය කිරීමට යොමුකර ඇති බවත් පරික්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පොලිසිය කියයි.  ඔහු අවිවාහකයෙකු ලෙස මැල්සිරිපුර තම නිවසේ තනිව ජීවත් වුවත්, කාන්තාවන් ඇසුරට දැඩි ලොල් බවක් දැක්වූ අයකු බවත්, ඔහුගේ නිවසට විවිධ කාන්තාවන් නිතර පැමිණ ඇති බවත් අනාවරණය විණි යැයි පොලීසිය කියයි. ඔහු ඇමෙරිකාවේ සිටින කාලයේ මෙරටට පැමිණි අවස්ථාවලදී හමුවූ විවිධ කාන්තාවන් සමඟ සබඳතා පවත්වා ඇති බවත්, එසේ සබදතාවක් පැවැත්වූ මහනුවර වැරැල්ලගම ප්‍රදේශයේ කාන්තාවකට ඔහුට දාව ගැහැනු දරුවෙකු ලැබී ඇති අතර, මේ වනවිට එම දරුවාගේ වයස අවුරුදු 20 ක් පමණ වන බවත් පැවසේ.  

එම දරුවාගේ භාරකාරත්වය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිව අදාළ කාන්තාව විසින් පවරන ලද නඩත්තු නඩුවක් කුරුණෑගල දිසා අධිකරණයේදී  ඉකුත් 4 වැනිදා විභාගයට ගැනීමට නියමිතව තිබුණද  ඊට දින කීපයකට පෙර ඔහු මෙලෙස සාතනයට ලක්ව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

මේ අතර ජයරත්න මහතා ඝාතනය වූ පසුව එම කාන්තාව අවුරුදු 20ක පමණ තරුණියක් ද කැටුව පොලිසියට ඊයේ (26) පැමිණ, තරුණිය පෙන්වා ජයරත්න මහතා ඇයගේ පියා බව පවසා, අවසන් කටයුතු කිරීමට ඔවුනට මළසිරුර බාර දෙන ලෙස  ඉල්ලීමක් කර ඇති බවත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර සිරුර ජයරත්න මහතාගේ ඥාතියකුට බාරදුන් බවත් පොලිසිය සඳහන් කරයි. නාවික ඉංජිනේරුවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි, විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා විසිනි. ගෙල ප්‍රදේශයට සිදු වූ කැපුම් තුවාලයක් සහ මලකඩ සහිත මොට ආයුධයකින් හිසට හා මුහුණට පහරදීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසිය.  

සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කළ කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ ඩබ්ලිව්.ඩී.එච්. චන්ද්‍රරත්න  මහතාගේ නියමයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුනු අතර, මලින්ද රුක්ෂාන් නමැත්තාගේ මරණය ගෙල සිර වීමෙන් සිදු වූවක් බවට ද පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී ඇත. ඇමරිකාවේ වසර හතළිහකට ආසන්න කාලයක් ජීවත්ව සිට ඇති මෙම නාවික ඉංජිනේරුවරයා ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකි.  විශ්‍රාමික නාවික ඉංජිනේරුවරයාගේ ඝාතනයට සැක කරන සේවකයා කොල්ලකෑම් සහ සොරකම් සම්බන්ධයෙන් විභාග වන නඩු කීපයකට පෙනී නොසිටීම  හේතුවෙන් අධිකරණය විසින් ඔහුට වරෙන්තුවක් පවා නිකුත් කරන ලද බවට අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි.



ඔවුන් සිටි රෙස්වත්තේ නිවසට සැකකාර සේවකයාගේ හිතවතුන් බව කියන  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ පිරිස් ද පැමිණ ඇති අතර, ඝාතනයට ලක්වූ  පුද්ගලයා මෙම පිරිස සමග එක්ව බොහෝ අවස්ථාවල නිවසේ මත්පැන් සාද පවත්වමින් මත් කුඩු භාවිත කර ඇති බවටද පොලීසියට  තොරතුරු ලැබී ඇත. එසේ පැමිණි බව කියන තරුණයන්  දෙදෙනෙකු හඳුනාගෙන ඔවුන්ගෙන් මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමටද  කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පියවර ගෙන ඇත. මෙම ඝාතනය මුදල් හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුවූ දෙයක්ද, නැත්නම් වෙනත් පිරිසක් හෝ සිදුවීමක් මූලික වී ඇත්දැයි යන්න සෙවීම සඳහා වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි. මියගොස් ඇති නාවික ඉංජිනේරුවරයාට අයත් බැංකු ගිණුම්වල විස්තර දැන ගැනීමට අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමටද කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පියවර ගෙන ඇත.

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය (ලංකාදීප)


සිද්ධියට අදාළ පෙර වාර්තාව
මැල්සිරිපුර නිවසේ අභිරහස - සේවකයා බාල්කයේ එල්ලෙද්දී අතුරුදන් ඉංජිනේරුවා නිවසේ කසල ගොඩේ