melsiripura-myastery-death

කුරුණෑගල මැල්සිරිපුර රෙස්වත්ත ප්‍රදේශයේ පැරණි නිවසක සිද්ධවූ මරණ දෙකක් ආශ්‍රිත අභිරහස් සිදුවීම් කිහිපයක් ගැන පොලිස් විමර්ශනයක් ආරම්භවී තිබේ. මෙම නිවසේ විසූ විශ්‍රාමික ඉංජිනේරුවෙකු බව කියන ස්වාමියා අතුරුදන්ව තිබූ අතර සේවකයාද කට උත්තර සපයා ඥාතියෙකු ඒ ගැන පොලිස් පැමිණිල්ලක් දමා තිබුණි. අනතුරුව පොලිසිය පෙරේදා (23) නිවසට යද්දී සේවකයා බාල්කයක එල්ලී සියදිවිනසාගෙන සිටි අතර අවට පරීක්ෂාවේදී අතුරුදන් වූ ස්වාමියාගේ මළ සිරුර නිවසේ වත්තේ කෙසෙල්කොට විසිකර තිබූ කසල ගොඩක වළදමා තිබී හමුවී තිබේ.
මෙම සිද්ධිදාමය කවරහේතු මත සිද්ධවී ඇතිදැයි සෙවීම තවම ප්‍රහේළිකාවක් බවට පත්ව ඇත.


නාවික විදුලි ඉංජිනේරුවකු ලෙස ඇමරිකාවේ සේවය කර විශ්‍රාම යාමෙන් පසු  2019 දී ලංකාවට ආ ද්විත්වපුරවැසිභාවය හිමි  72 හැවිරිදි චිත්‍රානන්ද ජයරත්න නමැති අය මෙලෙස ඝාතනය වී තිබෙන අතර සිද්ධිදාමය සිදුවන කාලය වනවිට නිවසේ වාසය කරමින් සිටියේ මේ දෙන්නා පමණකි.
 මීට මාස 3 කට පමණ පෙර නිවසට ආ 42 හැවිරිදි සේවකයා වැල්ලව ප්‍රදේශයේ පදිංචිව සිටි මිලින්ද නමැති අයෙකි. ඔහු හා ස්වාමියා අතර ඇතිවූ ගැටුමකින් ස්වාමියා මරා දමා පසුව තමා හසුවේය යන බියට සේවකයා දිවිනසාගත්තේද නැතිනම් වෙනත් බාහිර සම්බන්ධයක් මත නාටකාකාර ඝාතන සිදුකර ඇතිද යන්න පොලිසිය විමර්ශනය කරමින් සිටී.

ඇමෙරිකා එක්සත් ජනපදයේ  නාවික විදුලි ඉංජිනේරුවකු ලෙස සේවය කර විශ්‍රාම ලබා 2019 දී මෙරටට පැමිණ  චිත්‍රානන්ද ජයරත්න නමැති මියගිය පුද්ගලයා සිද්ධිදාමය සිදුවූ ඔහුගේ මහගෙදරට පැමිණ එහි කාලය ගත කරමින් සිට තිබේ. නිවසට අයත් වත්තේ සහ නිවසේ වැඩ සහායට වැල්ලව ප්‍රදේශයේ මිලින්ද නමැත්තා  නිවසේ නවත්වාගෙන සිට ඇති අතර මියගිය චිත්‍රානන්ද තම ඥාතීන් සමගද සමීප ඇසුරක් පවත්මින් සිටි අයෙකි.ඥාතීන් ඒ නිවස අසළ සිට නැති නමුත් විවිධ ප්‍රදේශවල වාසය කරමින් සිටි අයයි.

පසුගිය පළමුවැනිදා සිට චිත්‍රානන්දගෙන් කිසිදු තොරතුරක් නොලැබීම හේතුවෙන් මාලඹේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ ලොකු අම්මාගේ පුතකු ඔහුගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් නිවසට ගොස් සොයා බැලීමක් කර තිබේ.
 නිවසේ සේවය කළ මිලින්ද ඒ අවස්ථාවේ වත්තේ වැඩ කරමින් සිටි බව ඔහු දැක තිබේ.
ස්වාමියා කොහිදැයි විමසීමේදී පවසා ඇත්තේ අනුරාධපුර සංචාරයක් සඳහා යන බව පවසා පසුගිය පළමුවැනිදා නිවසින් පිටව ගිය බවය. එම ප්‍රකාශය ගැන ඥාතියාට එතරම් විශ්වාසයක් තිබී නැත.

ඒ අනුව ඥාති ප්‍රතුයා සේවකයාද කැටව ගොස් මැල්සිරිපුර පොලීසියට පැමිණිල්ලක් කර ඇත.
පොලිසිය සේවකයාගෙන් ප්‍රකාශයක් ලබාගත් අතර ඔහු බියට පත්ව පිළිතුරු දුන් බවද පැවසේ.
සති තුනක් පමණ ගතවූවත් අතුරුදන් පුද්ගලයා ගැන ආරංචි ලැබී නැති අතර මියගිය අයගේ ඥාතීන් නැවත මේ ගැන පොලිසියට මතක් කළ පසුව පොලිස් නිලධාරීන් නැවත මහගෙදරට ගොස් සේවකයාගෙන් ප්‍රශ්න කිරීමක් කරන්නට තීරණය කර තිබේ. ඒ සඳහා එම නිවසට පෙරේදා (23) ගිය අවස්ථාවේදී එම පුද්ගලයා නිවසේ පෙනෙන්ට නොමැතිවී ඇතිඅතර වැඩිදුර සෙවීමේදී කාමරයක් තුළ බාල්කයක එල්ලී ගෙල වැළලාගෙන මි⁣යගොස් සිටින ආකාරය දැක ඇත.
මේ අනුව කුරුණෑගල කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ සෘජු මෙහෙයවීමෙන් ඊයේ (24) දිනයේ වැඩිදුර පරීක්ෂණ කටයුතු ආරම්භ කළ අතර ඊට  පොලිස් නිල සුනඛයකුගේ සහායද ලබාගෙන ඇත
එම සුනඛයාගේ ඉව අනුව ගිය පොලිසියට විශ්‍රාමික විදුලි ඉන්ජිනේරුවාගේ සිරුර වත්තේ වළ දමා තිබියදී සොයාගත් ගැනීමට පොලිස් නිලධාරීන් කණ්ඩායමට හැකි විය.

කෙසෙල් කොට ගොඩගසා තිබූ ස්ථානයක් වෙතසුනඛයා ගමන් කළ අතර එම ස්ථානය සෝදිසි කරන ලෙස කරන ලද දැනුම්දීමක් මත කළ කැණීමකදී සිවිල් ඉංජිනේරුවරයාගේ සිරුර වළක තිබියදී සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. මලින්ද නමැත්තා විසින් සිවිල් ඉංජිනේරුවරයා කිසියම් හේතුවක් මත ඝාතනය කරනු ලැබූ පසුව ඔවුන්ගේ සිරුර වළ දමන්නට ඇතැයිද අසුවෙතැයි යන්න සැක සිතී ඔහු සියදිවි නසාගන්නට ඇතැයිද මූලික මට්ටමේ සැකයක් පවතින අතර එසේ නොවී දෙන්නාම කිසියම් බාහිර පිරිසක්ගාතනය කර ඇතිද යන්න ගැන විමර්ශන කෙරේ.

මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිත අතර මැල්සිරිපුර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.