nawalapitiya-incident

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ ඊයේ (16) පැවැති රැස්වීමට සහභාගි වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට එරෙහිව පැවැත්වූ විරෝධතාවකදී සමගි ජනබලවේගයේ නාවලපිටිය
ආසන සංවිධායකවරයා ඇතුළු පහළොස්දෙනකු නාවලපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.



මෙම රැස්වීම නාවලපිටිය නගරයේ මහින්දානන්ද පදනම ගොඩනැගිල්ලේ පැවැත්වීය.

සමගි ජනබලවේගයේ පිරිස් හා සමාජ ක්‍රියාකාරීන් මෙම විරෝධතාව සඳහා එක්වෙමින් රට වනසපු හොර නඩය නාවලපිටියට එන්න එපා යයි ගම්මානවල පෝස්ටර් ගසා කළු කොඩි ඔසවා තිබිණ.

මෙම රැස්වීමට සහභාගී වන ජනතාව සඳහා සෑම ගමකම හන්දියක් හන්දියක් අසලම තණකොළ හා පුන්නක්කුද තබා තිබූ අතර පොලිසිය මගින් ඒවා ඉවත් කිරීමට පියවර ගෙන තිබිණ. විරෝධතා නිසා නගරය වෙත යුද හමුදාව හා පොලිසිය කැඳවා තිබූ අතර නාවලපිටිය රෝහල අසල ඇති සමගි ජනබලවේගය කාර්යාලය අසල පොලිස් නිලධාරීන් දෙසීයක් පමණ යොදවා තිබිණ.

මුහුණු පොත හරහා සංවිධානය වූ ක්‍රියාකාරීන් මෙම විරෝධතාව නාවලපිටිය බස්නැවතුම්පළේ පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර සමගි ජනබලවේගයේ පිරිස් බස් නැවතුම කරා යාමට සූදානම් වීමේදී පොලිසිය ශබ්ද විකාශන යන්ත්‍ර මගින් දන්වා සිටියේ අවසරයකින් තොරව ගමන් ගන්නා පිරිස අත්අඩංගුවට ගන්නා බවයි.



මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක, ගම්පොල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රදීප් රත්නායක, සහකාර පොලිස් අධිකාරි කමල් ආරියවංශ ඇතුළු නිලධාරීන් ද මෙහිදී දක්නට ලැබිණ.

කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රිවරු 36 දෙනකු සහභාගි වී එම රැස්වීම පැවත්වූහ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම රැස්වීමේදී මෙසේ කීවේය. ‘‘ජනතාව උසිගන්වන අයගෙන් පරිස්සම් වෙන ලෙස මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. අපි මේ රැස්වීමට එන්න කලින් යම් පිරිසක් පෙළපාළියක් ගිහිල්ලා. අපි දන්නවා යම් පිරිසක් ඉන්නවා අපිට විරුද්ධව. නමුත් මම කියනවා අද වුණත් මැතිවරණයක් තිබ්බොත් අපි ජයග්‍රහණය කරනවා. ඒක තමයි ඇත්ත. රට වටේම අපි යද්දි දැනෙන්නෙ එයයි. අපි එක්ව නැගිටිමු කියන යෝජනාව රටට ඇහෙන්න කියනවා.’’

සුරංග ගජනායක -ගම්පොළ