negombo-driver-news

අධික බීමතින් තම බීමත් මිතුරන් පිරිවරා වෑන් රථයක් ධාවනය කර 36 හැවිරිදි විවාහක කතකගේ මරණය සිදුකළ 19 හැවිරිදි තරුණයකුගේ ධාවන බලපත්‍රය ජීවිතාන්තය දක්වා අහෝසි කිරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් චම්පික රාජපක්‍ෂ මහතා ඊයේ (19) නියෝග කළේය. ඊට අමතරව නගා ඇති චෝදනා හයට රුපියල් 1,99,000ක දඩ නියම කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊට අමතරව අනතුරෙන් මියගිය කාන්තාවගේ මවුපියන්ට සහ සැමියාට ලක්‍ෂ දෙකක වන්දියක් ගෙවීමට ද තවදුරටත් නියෝග කළේය.

2021 දෙසැම්බර් 1 වැනිදා මීගමුව තලාදුව  මාර්ගයේ දී සිදුකළ මාරක රිය අනතුර සම්බන්ධයෙන් වරද පිළිගත් පාසල් හැරගිය තරුණයා වූයේ මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන නදීමාල් මධුශාන් සිල්වා (19) නමැත්තෙකි. නඩු විභාගයේ දී අනාවරණය වූ කරුණු අනුව මෙම අනතුර තලාදුව මංසන්ධියේදී සිදුවී ඇති අතර මියගිය විවාහක කාන්තාව පාර හරහා මාරුවීමට තැත් කළ අවස්ථාවේ බීමත් රියැදුරු විසින් එම කාන්තාව හප්පා මරණයට පත් කර පලාගොස් ඇත. අනතුර දුටු යතුරුපැදිකරුවකු කළ දැනුම්දීම මත මීගමුව කල්කන්ද හන්දිය ප්‍රදේශයේ රථවාහන හැසිරවීමේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනකු වෑන් රථය නවතා බිමත් රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත.

(මීගමුව ඩබ්ලිව්. කීර්ති)