nihari-perera-grand-international

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉන්දුනීසියාවේ ‘මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්‘ තරගයට යාමට කටුනායක ගුවන්තොටුපළ හරහා ගමන් කරන්නට ගිය නිරූපිකා නිහාරි පෙරේරාට ඇය එරටට රැගෙන යන්නට උත්සාහ කළ ඇඳුම බර වැඩියයි දක්වමින් ගෙනයාමට ඉඩදිය නොහැකි බව ගුවන් තොටේ බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

ඇය රැගෙන ගොස් ඇති ඇඳුමෙහි බර කිලෝ ග්‍රෑම් 27කි. එම ඇඳුම මෙම තරගාවලියේ ඇය ඉදිරිපත් කිරීමට නියමිත සංස්කෘතික අංගය සඳහා නිර්මාණය කර ඇති එකකි.

ඒ සම්බන්ධයෙන්  කළ විමසුමකදී අදහස් දක්වා සිටි ඇය වැඩිදුරටත් මෙසේ ප්‍රකාශ කළාය.



''මේ මගේ නැෂනල් කොස්ටියුම් එක, මේක තමයි වැදගත්ම එක. මේක ගෙනියන්න බැරි වුණේ ගුවන්තොටුපළෙන් තියලා යන්න කිව්ව නිසා. මගේ බෑග් සේරම බර තිබුණේ කිලෝ හතළිහයි. නමුත් ගෙනියන්න දුන්නේ නැහැ මට වැදගත්ම එක. මට ගෙනියන්න තිබ්බ අමතර බෑග්වලටත් රුපියල් අසූදාහක් අමතරව ගෙවන්න වුණා මට. අන්තිමට මම ආවේ මේ තරගයට ඉන්දුනීසියාවට මගේ වැදගත්ම ඇඳුම් නිර්මාණය ලංකාවේ දාලා. රට නියෝජනය කරන්න යන්න අවස්ථාවකටවත් සහයෝගයක් දෙන්නේ නැත්නම් ඒ ගැන කනගාටුවක් තියෙනවා. මට විතරක් නෙමේ තව අයට මෙහෙම වෙලා තියෙනවා. රජයෙන් කිසිම සහයක් නැහැ මෙවැනි තරගවලට යන අයට’’



ඉන්දුනීසියාවේ පැවැත්වෙන මෙම “මිස් ග්‍රෑන්ඩ් ඉන්ටර්නැෂනල්” තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ දස වන වරට වන අතර ඒ සඳහා රටවල් 68 ක් නියෝජනය කරමින් තරගකාරියන් සහභාගි වෙයි.

තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඔක්තොම්බර් 25 වැනිදාය. මෙවැනි රූ රැජිණ තරගවලදී රට නියෝජනය කරන ඇඳුමින් සැරසී කරන ඉදිරිපත් කිරීම එම තරගාවලියේදී ඉතා වැදගත් අංගයක් වේ.