palali-incident

පලාලි තෛසෙට්ටි ප‍්‍රදේශයේදී පාපැදියකින් ගමන් කරමින් සිටි 15 හැවිරිදි පාසල් සිසුවියකගේ ගෙල බැඳී රුපියල් ලක්ෂ 1 1/2ක් පමණ වටිනා රන්මාලය කඩාගෙන ඇය කැලයට ඇදගෙන ගොස් පහර දී ගෙල පාගා මරා දැමීමට උත්සාහ කළ හමුදා සෙබළකු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා පහර දී පොලිසියට බාර දුන් බව පොලිසිය කියයි. සැකකරු පලාලි යුද හමුදා කඳවුරකට අනුයුක්තව රාජකාරි කරමින් සිටි 31 හැවිරිදි ලාන්ස් කෝප්‍රල් කෙනකු බවත් ඔහු තිලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය පවසයි.

සිසුවිය ඉකුත් 22 වැනිදා සවස අමතර පන්තියට සහභාගි වී පස්වරුවේ නිවස බලා යන අතරේ සැකකරු ස්කුටි වර්ගයේ යතුරුපැදියකින් තෛසෙට්ටි මාර්ගයේ ගමන් කරමින් සිට ඇති බව පොලිසිය කියයි.

සැකකරු තරුණිය නවතා පාරක් විමසන මුවාවෙන් කතා කර ඇගේ ගෙලබැඳි රන් මාලය කඩාගෙන ඇය ඇදගෙන අසල කැලයට රිංගා ඇති බව පොලිසිය පවසයි. තරුණිය ආධාර ඉල්ලා කෑගැසීම නිසා සැකකරු ඇයට පහර දී බිම දමා ගෙල පාගා ඇති බවද පොලිසිය සඳහන් කරයි.

සැකකරුගේ පහර කෑමට ලක්වීමෙන් සිසුවිය බිම වැටී සිහිසුන් වූ ආකාරයට සිට ඇති බවත් ඇය සිහිසුන් වී ඇති බව සිතා සැකකරු මාර්ගයේ නවතා තිබූ යතුරුපැදිය කැලය තුලට රැගෙන ඒමට ගොස් සිටියදී සිසුවිය සැකකරුගෙන් මිදී දිවගොස් ආසන්නයේ පිහිටි නිවෙස් වෙත සිද්ධිය දැනුම් දී ඇත. සිද්ධිය දැනුම් දුන් පසුව තරුණයන් තිදෙනකු එම ස්ථානයට දිව ගොස් ඇති අතර සැකකරු යතුරුපැදියෙන් පලායෑමට උත්සාහ ගෙන තිබේ. තරුණයන් පිරිස මහත් පරිශ්‍රමයක් යොදා සැකකරු  අල්ලා පහර දී පොලිසියට බාර දුන් බව පොලිසිය කියයි.



තරුණිය ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරු අල්ලා පොලිසියට බාරදීමට ක්‍රියා කළ තෛසෙට්ටි ප්‍රදේශයේ තරුණයන් තිදෙනාට පොලිසිය ඔවුන්ගේ ක්‍රියාව අගයමින් සම්මාන පිරිනමා ඇත. තංගරාජා මහියන්, සෙල්වරාසා විනෝද්, වරදකරන් විජයනන් නමැති තරුණයන් තිදෙනා පලාලි පොලිසියට කැඳවා සිකුරාදා (28) ඔවුන්ට සම්මාන පිරිනැමූ බව පොලිසිය කියයි.. සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර පලාලි පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නයනජිත් මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.


ඉන්දිකා රාමනායක