pallegama-siriniwasa-hemarathana

අපවත් වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය
සඳහා රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට රජය ඉදිරිපත්වුවද වැඩ බලන අනුරාධපුර අටමස්ථානාධිපති රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන නා හිමියෝ එය අපවත්වූ හිමි නමට කරන අගෞරවයක් ලෙස සලකා බැහැර කර තිබේ.
මෙහිදී රජය ලබාදෙන්නට උත්සාහ කර ඇත්තේ ‘රාජ්‍ය ගෞරව‘ නොව ‘රාජ්‍ය අනුග්‍රහය‘ එනම් මුදල්ය.
 ඊයේ (20) පල්ලේගම හේමරතන නා හිමියෝ මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ කීහ.

‘රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටින මෙවන් අවස්ථාවක අපවත්වී
වදාළ නා හිමිපාණන් වහන්සේගේ ආදාහන පුජෝත්සවය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලබා ගෙන ඒ සඳහා
මුදල් වියහියදම් කිරීම උන්වහන්සේට කරන නිගාවක් සහ අගෞරවයක් ...එබැවින් රාජ්‍ය අනුග්‍රහය
ප්‍රතික්ෂේප කරනවා..


නා හිමියන්ගේ ආදාහන පූජෝත්සවයට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් වීම සම්බන්ධයෙන්
ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ගෞරවය පුද කරනවා. අපේ දායකයෝ විශාල පිරිසක් සිටිනවා. ඒ අයගෙ උදවු ඇතිව සහ අපට ආදාහන පූජෝත්සවයේ කටයුතු රාජ්‍ය අනුග්‍රහය නොමැතිව කර ගත හැකියි. වර්තමානයේ සමාජය හැසිරෙන විදිහ ගැන කවුරුත් සබුද්ධිකව සිතන්න ඕනා. නා හිමිපාණන් වහන්සේ වෙනුවෙන් අපට යමක් කළ හැකිව තිබියදී රාජ්‍ය
අනුග්‍රහය ලබා ගෙන විච්චූර්ණ කර ආදාහන පූජෝත්සවය කළාම මිනිස්සු අපට ගහයි. ‍දොස් කියයි.
මිනිස්සු තුන් වේල කා ජීවත්වීමට නොහැකිව සිටින වෙලාවක නිරර්ථක වැඩකටනෙ මේ රාජ්‍ය අනුග්‍රහය
ලබා දෙන්න හදන්නෙ.

ඒ නිසා මේ වෙලාවෙ නායක හාමුදුරුවන්ගෙ ආදාහන පූජෝත්සවය වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ගත්තොත්
එය නායක හාමුදුරුවන්ට කරන අගෞරවයක්. ඒ වගේ ම එහෙම කළොත් මමයි වග කියන්න ඕනෑ. සැබෑ
තත්ත්වය එය බව අපි කවුරුත් තේරුම් ගත යුතුයි.
මම මේ කරන ප්‍රකාශය රජය අපහසුතාවට පත් කිරීමට එදිරිවාදීව කළ ප්‍රකාශයක් නොවෙයි.
නායක හාමුදුරුවන් වෙනුවෙන් රාජ්‍ය ගෞරව සහ අනුග්‍රහය ලබා දීමට රජය ඉදිරිපත් වීම ගෞරවයෙන්
භාර ගන්නවා.  හාමුදුරුවන්ට සිදුවන නිග්‍රහයක් ලෙස සලකා එය ප්‍රතික්ෂේප කර සිටිනවා.”



 අපවත් වී වදාළ අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නා හිමියන්ගේ ආදාහන
පූජෝත්සවයේ ආගමික වතාවත් නාහිමියන්ගේ ශ්‍රී දේහය මහජන ගෞරවය සඳහා තැන්පත් කොට තිබෙන
බෝමළුව විහාරස්ථානයේ සන්නිපාත ශාලාවේදී හෙට (22) සෙනසුරාදා සවස 2.30ට ආරම්භ කිරීමට
නියමිත අතර අනතුරුව ශ්‍රී දේහය ආදාහනය කිරීම එදින සවස 5.00ට මහාවිහාරීය ආදාහන මළුවේදී සිදු
කිරීමට නියමිතයි.