pfizer-udantha-abeyratne

ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත විශ්වවිද්‍යාලයේ (University of Queensland) ශ්‍රී ලාංකික මහාචාර්යවරයෙකු වන උදන්ත අබේරත්න මහතාගේ මූලිකත්වයෙන් යුත් පර්යේෂණ කණ්ඩායමක් මගින් නිර්මාණය කළ කෝවිඩ්-19 ආසාදිත බව හඳුනාගැනීමේ ස්මාර්ට් දුරකථන යෙදවුම මිලදී ගැනීමට එක්සත් ජනපදයේ 'Pfizer" සමාගම පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

මෙහිදී එක්සත් ජනපද ඩොලර් මිලියන 179ක මුදලකට එම වැඩසටහන මිලදී ගැනීමට  'Pfizer" සමාගම කටයුතු යොදා තිබේ. කෝවිඩ්-19 වසංගතය අවස්ථාවේ ඊට එරෙහි නවෝත්පාදන වෙනුවෙන් බොහෝ ආයෝජන සිදු කිරීමට එම සමාගම පියවර ගෙන තිබුණි.මෙම දුරකථන යෙදවුම හරහා ඕනෑම පුද්ගලයකුගේ ශබ්දයට සවන් දීමෙන් අනතුරුව ඔහු කෝවිඩ් ආසාදිතයකු දැයි නිශ්චය කරගත හැකි බව එහි නිර්මාණකරුවෝ පවසති. මෙහි මූලික වැඩසටහන පසුව ඔස්ට්‍රේලියාවේ 'ResApp  Health Limited' සමාගම මගින් වැඩිදියුණු කිරීමෙන් අනතුරුව මෙලෙස 'Pfizer' සමාගම සමග වූ ගනුදෙනුව වෙත යොමුව තිබේ.මෙහිදී එම යෙදවුම පිළිබඳ සිදු කළ පරීක්‍ෂාවේදී එය රෝග ලක්ෂණ සහිත රෝගීන් තුළ කෝවිඩ්-19 වෛරසය පවතින බවට හඳුනාගැනීම 92%ක සාර්ථකත්වයක් පෙන්නුම් කර ඇත.



ඒ අනුව එම යෙදවුම මගින් දක්වා ඇති සාර්ථකත්වය මෙවැනි මුදලකට එය මිලදී ගැනීමට හේතුව වූ බව 'Pfizer" සමාගමේ ප්‍රකාශකවරයකු පවසා ඇත.මෙම යෙදවුම පිළිබඳ අදහස් දක්වන මහාචාර්ය අබේරත්න මහතා, මම මගේ පෙණහලු විවෘත කළාට පස්සේ එය වාතය සඳහා විවෘත වෙනවා. එය තමයි මම හඳුන්වන්නේ 'තොරතුරු සුපිරි අධිවේගී මාර්ගය' විදියට. ඒ නිසා මම දැක්කා අපිට පුළුවන් කියලා යම් පුද්ගලයෙකුගේ කැස්සේ ශබ්දය මෙවැන්නකට යොදා ගන්න. එම ලැබෙන සංඥා කෘත්‍රිම බුද්ධි තාක්ෂණයක් හරහා ගොස් මේ බව පැහැදිලිවම හඳුනා ගන්නවා" යනුවෙන් පවසා සිටියේය.ඒ අනුව මෙය ලොව පුරාම සිටින කෝවිඩ්19 ආසාදිතයන් හඳුනාගැනීම සඳහා භාවිත කළ හැකි වඩාත් මිල අඩු තාක්ෂණයක් බව මහාචාර්වරයා පැවසීය.



එමෙන්ම මෙය දුෂ්කර සහ දියුණු නාගරික ප්‍රදේශවලදීත් එක ලෙස යොදා ගත හැකි බව ඔහුගේ අදහසයි. මෙම වැඩසටහන දියුණු කිරීම සඳහා වෛද්‍යවරුන් කිහිපදෙනෙකුගේ‍ උපදෙස් ලබාගෙන ඇති අතර, එහිදී වෛද්‍යවරුන් සිය වෙදනලාව (‍ස්ටෙතොස්කෝපය) මගින් රෝගීන්ගේ සිරුර අභ්‍යන්තරයේ නිපදවෙන ශබ්දය ශ්‍රවණය කිරීම හා සමාන ක්‍රමවේදයක් යොදාගත් බව - මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.