pitakotte-hardware-fire

පිටකෝට්ටේ හන්දියේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය වළඳසලක ඊයේ (11) අලුයම 2.15 පමණ හටගත් ගින්නකින් පුද්ගලයකු මියගොස් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලට බරපතළ හානි සිදුව ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි. ගින්න හට ගන්නා අවස්ථාවේදී දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ දෙදෙනකු රැඳී සිට ඇති අතර ගින්න හටගන්නවාත් සමග ඉන් එක් පුද්ගලයකු නිරුපද්‍රිතව දිවි බේරාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා මෙසේ මියගොස් ඇති බව පොලිසිය කියයි.

එම අවස්ථාවේදීම දිවි බේරාගත් පුද්ගලයා ක්ෂණයකින් ක්‍රියාත්මක වී අසල්වාසීන්ගේ ද සහය ඇතිව මිරිහාන මූලස්ථාන පොලීසිය දැනුවත් කොට ගින්න නිවා දැමීම සඳහා කෝට්ටේ මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයට දැනුම් දී තිබුණි.

ඒ අනුව අලුයම 2.35 පමණ කෝට්ටේ මහ නගර සභාවට අයත් ගිනි නිවන ඒකකයේ කාර්ය භාර නිලධාරී ජී.කේ.ජී.ආර්. පෙරේරා මහතාගේ අධීක්ෂණය යටතේ නිලධාරීන් දහතුන් දෙනකු සමඟ ගිනි නිවන රථ තුනක් එම ස්ථානයට පැමිණ පැතිර යමින් තිබූ ගින්න නිවා දැමීමට පියවර ගෙන තිබූ බව පොලීසිය පවසයි.


ගිනි නිවන නිලධාරින් එම ස්ථානයට පැමිණීමත් සමග ගින්නට හසුව පුද්ගලයකු අලෙවිසල තුළ රැදී සිටින බවට ප්‍රදේශවාසීන් කළ දැනුම් දීම අනුව ගිනි නිවන නිලධාරීන් යුහුසුළුව එම පුද්ගලයා බේරාගැනීමට උත්සාහ කළත් එය ව්‍යාර්ථ වී ඇත. හඳුනාගත නොහැකි තරමටම පිළිස්සී මියගොස් සිටි පුද්ගල මළ සිරුර හමු වී තිබූ බව පොලිසිය කියයි.  මෙසේ මියගොස් ඇත්තේ (65) හැවිරිදි පුද්ගලයෙකි. මියගිය පුද්ගලයා කිසියම් රෝගී තත්වයකින් පෙළෙන පුද්ගලයකු බවත් ගින්නට හසුව ඔහු විනාඩි විස්සක පමණ කාලයක් එහි රැඳී සිටින්නට ඇති බවත් පොලිසිය සැක කරයි.



ඒ අනුව සිද්ධිය වූ ස්ථානයේ මහේස්ත්‍රාත් පරික්ෂණයක් සිදු කිරීමට නියමිතව තිබූ අතර නුගේගොඩ කොට්ඨාසයේ අපරාධ ස්ථාන පරික්ෂණ ආයතන ප්‍රධානීන් පැමිණ ස්ථානීය පරික්ෂණයක් සිදු කරන ලදී. මීට අමතරව රස පරීක්ෂකවරයා ද පැමිණ පරික්ෂණයක් ආරම්භ කර තිබුණි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කෝටි ගණනක අලාභයක් සිදුව ඇති බව පොලීසිය කියයි. ඒ සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන මූලස්ථාන පොලීසියේ වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක නීල් චමින්ද මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අමිල ගෝවින්න මහතාගේ මෙහෙයවීමෙන්, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ප්‍රභාත්, පො.කො (19363) සේනානායක, (10301) රණසිංහ, (91267) බණ්ඩාර, (103688) බස්නායක ඇතුළු නිලධාරිහු ඉදිරි පරික්ෂණ පවත්වති.

 (මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )