police-5000-fine

සූදු පොළක් වටලා අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයක් මුදාහැරීම සඳහා රුපියල් දස දහසක් අල්ලස් වශයෙන් ඉල්ලා ඉන් රුපියල් 5000ක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු කෙරුණු අහුංගල්ල පොලිසියේ හිටපු උප පොලිස් පරීක්ෂකවරයකුට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් ඊයේ (18 වැනිදා) බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවමක් හා රුපියල් විසිදහසක දඩයක් නියම කළේය.



එසේ නියම කරනු ලැබූ සිර දඬුවම වසර 10කින් ගෙවී යා යුතු බවත් අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් 5000ක මුදල දණ්ඩනයක් වශයෙන් අධිකරණයට ගෙවන ලෙසත් විනිසුරුවරයා විත්තිකරුට නියෝග කළේය. 2015 වසරේ දී විත්තිකරු විසින් සූදු පොළක් වටලා ඇති අතර එහිදී අත්අඩංගුවට ගත් ජංගම දුරකථනයක් මුදාහැරීමට රුපියල් 10,000ක අල්ලසක් ඉල්ලා රුපියල් 5000ක මුදලක් ලබා ගැනීමට එරෙහිව අල්ලස් කොමිසම විත්තිකරුට එරෙහිව අධි චෝදනා ගොනු කර තිබිණි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කේ. පී. කුමාර නමැති හිටපු උප පොලිස් පරීක්ෂකවරයකුට මෙම දඬුවම් නියම කෙරිණි.  

(K.S. උදය කුමාර)