policeman-dead-parliament-bus

මීගමුව ප්‍රදේශයේ හෝටලයක පැවැති පාර්ලිමේන්තු සේවක සුහද හමුවට සහභාගි වූ එහි සේවක සේවිකාවන් පිරිසක් සිය නිවෙස්වලට රැගෙන යමින් සිටි පාර්ලිමේන්තු බස් රථයක හැපීමෙන් ගම්පහ වැලිවේරිය පොලිසියට අනුයුක්ත සැරයන්වරයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.සිද්ධිය වී ඇත්තේ ගම්පහ කිරිඳිවැල මාර්ගයේ හේනේම මල්පැලේ ප්‍රදේශයේදී පෙරේදා (29) රාත්‍රී 8.30ට පමණයි. මේ සිද්ධියෙන් පසුව පාර්ලිමේන්තු බසයේ රියැදුරා තුවාලකරු රෝහල්ගත කිරීමට පියවර නොගෙන බස් රථයද අතහැර දමා පලා ගොස් ඇතැයි පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මේ සැකකරු ගැන ඊයේ සවස් වනතුරුත් කිසිදු තොරතුරක් අනාවරණය වී නොතිබිණි.

අනතුරින් මිය ගියේ වැලිවේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ ආනන්ද පෙරේරා නමැති 56 හැවිරිදි පොලිස් සැරයන්වරයා ය. ඔහු මල්වතුහිරිපිටිය, විලිඹුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරින් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ප්‍රදේශවාසීන් විසින් රදාවාන රෝහලට ඇතුළත් කරනු ලැබ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යැවීමෙන් පසුව එහිදී ජීවිතක්‍ෂයට පත්වූයේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ උපපොලිස් පරික්ෂක ආනන්ද පියලත් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා පාර්ලිමේන්තු බස් රථය මතුහිරිපිටිය පොලීසියට රැගෙන එනු ලැබීය.. මියගිය සැරයන්වරයාගේ දේහය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැත්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (30) පැවැත්විණි.සැකකාර බස් රථ රියැදුර එම සාදයට සහභාගි වී අධික ලෙස බීමත්ව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.



අධික ලෙස බීමත්ව සිටීම නිසා මත් ගතිය අඩු කිරීම සඳහා සහෝදර සේවක පිරිසක් විසින් ඔහු හෝටලයේ පිහිනුම් තටාකයට බස්සවා නෑමට සලස්වනු ලැබ ඇති බවත් කිහිපදෙනකු එකතු වී පසුව ඔහු බස් රථයට ඉතා අසීරුවෙන් රැගෙනවිත් රියැදුරු අසුනට ගොඩකර ඇති බවත් පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.  ඔහු ඉතාමත් අසීරුවෙන් මෙන්ම අනතුරුදායක ආකාරයෙන් බස් රථය පදවාගෙන පැමිණ ඇති බවත් පොලිස් සැරයන්වරයා යටවීමට පෙර බස් රථය ප්‍රදේශයේ වෙළෙඳසලක ගැටීමෙන් ඊටද හානි සිදුව තිබූ බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.

සැකකරු බස් රථය රැගෙනවිත් ඇත්තේ එය රැගෙන නොයන ලෙස බොහෝ අය පවසද්දී බව වාර්තා වේ. මෙම අනතුරට හේතු වූ පාර්ලිමේන්තු බස් රථයෙන් රැගෙනවිත් තිබුණේ මීගමුවේ සාදයකට සහභාගි වූ පාර්ලිමේන්තු සේවක සේවිකාවන් පිරිසකි. පාර්ලිමේන්තුවේ මේ සුහද සාදය වසරකට වරක් සංවිධාන කෙරෙන අතර කොවිඩ් තත්වය හේතුවෙන් මෙවර එය සංවිධාන කෙරුණේ වසර තුනකට පසුවය. මෙම සාදයට පාර්ලිමේන්තු ප්‍රධානීන් පිරිසක්ද සහභාගි වී ඇතැයි දැනගන්නට ඇත.


උපාලි රණවීර