port-city-theft

වරාය නගරයේ (පෝට් සිටි)  ගබඩාවක් බිඳ එහි දේපොළ සොරාගත් බවට අසත්‍ය පැමිණිල්ලක් ඉදිරිපත් කළේ යැයි කියන එහි ප්‍රසම්පාදන බාර නිලධාරියා වන චීන ජාතික ලිසිහුආ (Lisihua) නමැත්තාට ලබන මස 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඊයේ (17) නොතීසි නිකුත් කළේය. මහේස්ත්‍රාත්වරයා මෙසේ නොතීසි නිකුත් කළේ, වරාය පොලීසිය එම චීන ජාතිකයා සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කළ කරුණු දැක්වීමකින් අනතුරුවය.

වරාය නගරයේ ගබඩාව බිඳ එහි තඹ කම්බි හා තඹ කූරු ඇතුළු දේපොළ සොකරම් කර ඇතැයි සැකකරු පසුගිය දිනක වරාය පොලීසියට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත්, ඒ අනුව මේ සම්බන්ධව විමර්ශන කළ අවස්ථාවේදී කිසිදු දේපොළක් සොරකම් කර නැතැයි තොරතුරු අනාවරණය වූ බවත්, වරාය පොලීසිය අධිකරණයේ හමුවේ කරුණු වාර්තා කළේය. ඇඟිලි සලකුණු නිලධාරීන් හා පොලිස් නිල සුනඛයන් ද මෙම විමර්ශන සඳහා යොදාගත් බව පොලීසිය වැඩිදුරටත් දැනුම් දුන්නේය. චීන ජාතිකයා අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින්, බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළේ යැයි සඳහන් කරමින් වරාය පොලීසිය මෙම නඩුව පවරා ඇත. වරාය පොලීසියේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක නිශාන්ත රාජපක්ෂ මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.


(නිමන්ති රණසිංහ)