prasanna-ranil

මේ මොහොතේ වත්මන් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙළට සහාය ලබා දී, ඔහු සමග වැඩ කළ යුතු යැයි මිනුවන්ගොඩ දේශපාලන බලමණ්ඩලයේදී පැවැති රහස් ඡන්දයේ ප්‍රතිඵල අනුව තහවුරු වී ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ඉදිරියේදී ගත යුතු දේශපාලන තීන්දුව තීරණය කිරීම් සඳහා මිනුවන්ගොඩ දේශපාලන බලමණ්ඩලයේදී පැවැති රහස් ඡන්ද ප්‍රතිඵලය අනුව එහි අතිබහුතරයක්ම වත්මන් ජනාධිපතිවරයා සමග වැඩකළ යුතු බව පවසා ඇතැයිද ඔහු කීය. මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළ කිරීම අලියාගේ පිටේ නැගීමක් නොවන බවත්, එලෙස සහාය පළ කිරීම පොහොට්ටුව හැර යාමක් නොවන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.




ඉදිරි දේශපාලන තීන්දුවක් ගැනීම සඳහා තමා මිනුවන්ගොඩ දේශපාලන බලමණ්ඩලයේ රහස් ඡන්දයක් පැවැත්වූයේ පොහොට්ටුව හැර යාමට නොවන බවද අමාත්‍යවරයා  කීවේය. ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සිදු කළ විමසීමේදී ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ තමන්ට ශ්‍රී ලංකාව හැර වෙනත් කිසිදු රටක පුරවැසිභාවය නොමැති බවයි. තමන්ට ද්විත්ව පුරවැසිභාවය ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බවද හෙතෙම කියා සිටියේය. හෘදසාක්ෂියට එකඟව හැමවිටම නිවැරදි දේශපාලන තීන්දු ගත් තමන් ජනමතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී අවශ්‍ය දේශපාලන තීන්දුව ගැනීමට කිසිවිටෙකත් නොපැකිළෙන බවත්,




තමන් පිළිබඳ මෙතෙක් විශ්වාසය තැබූ ජනතාව කිසිසේත් පාවා නොදෙන බවත් රණතුංග මහතා කීවේය. විදෙස් සංචාරයකින් පසු දිවයිනට පැමිණ ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේය. වත්මන් ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට සහාය පළ කිරීම පොහොට්ටුව අත්හැර යාමක් නොව පොහොට්ටුවේ ජනමතය ආරක්ෂා කිරීම සඳහා මේ මොහොතේ ගත හැකි හා ගත යුතු හොඳම තීරණය බවද ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේය. කෙසේ වෙතත් ජනමතයට හිස නමමින් අවශ්‍ය මොහොතේදී නොපැකිළිව අවශ්‍ය   දේශපාලන තීන්දුව ගැනීමට සුදානම් බවද . අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.