priyamali-calls

රක්ෂිත බන්ධනාගාර ගතව සිටිමින් අනවසරයෙන් ලබාගන්නා ලද දුරකථනයක් උපයෝගී කරගෙන පුද්ගලයකු අමතා තමාට ඇප ලබා ගැනීමට ලක්ෂ 300ක මුදලක් ලබා දෙන ලෙස තිළිණි ප්‍රියමාලි ඉල්ලීමක් කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (19දා) කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය හමුවේ ප්‍රකාශ කළේය.

කෝටිපති ව්‍යාපාරිකයන්ගේ මූල්‍ය වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටින තිළිණි ප්‍රියමාලි යන අයට එරෙහි නඩුව අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම කරුණු වාර්තා කර සිටියේය.

ඊයේ දින මෙම නඩුව අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී සැකකාර තිළිණි ප්‍රියමාලි හා ඉසුරු බණ්ඩාර යන අය බන්ධනාගාරය මඟින් අධිකරණය හමුවට ඉදිරිපත් කර නොතිබූ අතර ඒ අනුව ස්කයිප් තාක්ෂණය හරහා ඔවුන් අධිකරණය හමුවේ සම්බන්ධ කර ගන්නා ලදී.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල මහතා ප්‍රමුඛ විමර්ශන නිලධාරි මණ්ඩලයක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.



අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සෝදිසි වරෙන්තු හතරක් අධිකරණය මඟින් ලබාගෙන වත්තල, කිරුළපන, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය 34 වැනි මහල හා චැතම් වීදිය යන ස්ථාන හතරක් පරීක්ෂාවට ලක්කළ බවත් එහි තිබී ලේඛන හා ඩිජිටල් උපාංග අත්අඩංගුවට ගත් බව අප අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එමෙන්ම තිකෝ කාර්යාලය (WTC) තුළ තිබී අත්අඩංගුවට ගන්නා ලද පරිගණකවල දෘඪ තැටි (hard disk) පහක් අස්ථානගත වී ඇති බවත් එසේම සැකකාරියට අයත් ආයතන හතක සේවය කරන සේවකයන්ගෙන් ද ප්‍රකාශ ලබාගෙන ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම සැකකාරිය විසින් තිකෝ film, තිකෝ construction හා තිකෝ ඨඥථඵ යන නාමයන් ඔස්සේ තිකෝ සමූහ ව්‍යාපාරය නමින් ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර එම ව්‍යාපාරයට ආයෝජනය කිරීම සඳහා කිසිදු ආදායම් මාර්ගයක් නොතිබූ නමුත් සේවකයන්ගේ වැටුප් හා විවිධ බිල් සඳහා මසකට රුපියල් ලක්ෂ හතළිස් දෙකක් පමණ වැය වී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එම ආයතනය විසින් මාර්තු මස සිට රුපියල් ලක්ෂ 55ක් වියදම් කර විවිධ ප්‍රවර්ධන හා සන්දර්ශන පවත්වා ඇති අතර රුපියල් ලක්ෂ 350ක මුදලක් වියදම් කර චිත්‍රපටයක මුහුරත් උළෙලක්ද පවත්වා ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී සිටියේය.

විමර්ශනවලදී අනාවරණය වන පරිදි මෙම සියලු වියදම් දරා ඇත්තේ විවිධ පුද්ගලයන්ගෙන් වංචා කර ලබා ගන්නා ලද මුදල් බවත් එම කිසිදු මුදලක් යෙදවීම හරහා ලාභයක් උපයා ගෙන නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

සැකකාරියගේ ජංගම දුරකථනය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම දුරකථනය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී එම දුරකථනයේ තිබී පණිවුඩ හා හඬ පටි තිබූ බවත් ඒවාවල සටහන් වී ඇත්තේ විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් හා දේශපාලනඥයන්ට වංචා කරමින් මුදල් ලබාගන්නා ආකාරය වන නමුත් මේ වන තෙක් එම පුද්ගලයන් ඒ පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරිපත් වී නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

ඉතා විශාල වටිනාකම්වලින් යුත් මුදල් මෙම දේශපාලනඥයන් හා විවිධ ප්‍රසිද්ධ පුද්ගලයන් විසින් මෙම තැනැත්තිය වෙත ලබාදී ඇති බවට හඬ පණිවුඩ මෙන්ම කෙටි පණිවුඩවලින් අනාවරණය වන බවත් කෙසේ නමුත් ඔවුන් මේ වන තෙක් තමන්ට සිදු වූ වංචාව සම්බන්ධයෙන් ඉදිරිපත් නොවීම ගැටලු සහගත වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවදුරටත් අධිකරණය හමුවේ සඳහන් කළේය.

එසේම 2022 ජනවාරි මස සිට ජුනි මස දක්වා අතර කාලය තුළ සැකකාරියගේ බැංකු ගිණුමේ මිලියන 3000ක මුදල් ප්‍රමාණයක් තිබී ඒවා නැවත සැකකාරිය විසින් රැගෙන වියදම් කර ඇති බව ප්‍රකාශ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම මුදල් සැකකාරියට ලැබුණේ කෙසේදැයි එසේම ඒවා වියදම් කළේ කුමක් සඳහා දැයි විමර්ශන සිදුකරන බවට අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.



ඒ අනුව සැකකාරිය සිදුකරන ලද වරදවල් සම්බන්ධයෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 386, 389, 400 හා ණය ආපසු අය කර ගැනීමේ පනත මෙන්ම මුදල් විශුද්ධිකරණය පනත ප්‍රකාරව සැකකාරියට එරෙහිව චෝදනා ගොනු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

විමර්ශන නිලධාරීන් විසින් සැකකාරිය සතු නිවාස දෙකක් හා කාර්යාල ද පරීක්ෂාවට ලක් කළ අතර ඒවාවල තිබී බැංකු රිසිට් පත් සොයාගත් බවත් ඒ අනුව එම බැංකු ගිණුම්වලට මුදල් බැර කිරීම හා මුදල් ආපසු ගැනීම් සම්බන්ධයෙන් බැංකු ගිණුම් වාර්තා ලබාගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුව තව සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් මෙම සැකකාරිය රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී ජංගම දුරකථන තුනක් භාවිත කිරීම සිදුකර ඇති අතර ඒවා පිළිබඳ සිදුකරන ලද විමර්ශනයේදී දුරකථන අංක 11කට සැකකාරිය බන්ධනාගාරය තුළ සිටියදීම ඇමැතුම් ලබා ගෙන ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී සිටියේය.

එහිදී තවදුරටත් විමර්ශන සිදු කරමින් එම දුරකථන අංකය සඳහන් පුද්ගලයන්ගෙන්ද ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කළ බවත් ඒ අනුව එක් පුද්ගලයකුට දුරකථන ඇමැතුමක් ලබාදී මෙම සැකකාරිය විසින් රුපියල් ලක්ෂ 300ක මුදලක් තමන්ට ඇප ලබා ගැනීමට අවශ්‍ය බව පවසා ඉල්ලා ඇතැයි අනාවරණය වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කළේය.

තවදුරටත් මේ සම්බන්ධයෙන් තවත් පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බව ප්‍රකාශ කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකාරිය සම්බන්ධයෙන් මේ වන විට මහාධිකරණ හා මහෙස්ත්‍රාත් අධිකරණවල විභාග වන නඩු හතක් පමණ ඇති බවත් ලක්ෂ 800, ලක්ෂ 700, මිලියන 43 වැනි වංචා සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව මේ සියලු කරුණු සලකා බැලීමේදී සැකකාරියට ඇප ලබාදීම සම්බන්ධයෙන් පැමිණිල්ල විරුද්ධ වන බවත් සැකකාරිය බන්ධනාගාරය තුළ සිටියදීම දුරකථන අනවසරයෙන් තබාගෙන පිටස්තර අය හා සම්බන්ධ වී සාක්ෂි වසන් කිරීමට හා තවදුරටත් පැමිණිලි ලැබීම වැළැක්වීම සඳහා කටයුතු සිදුකර ඇති බවට අනාවරණය වන බැවින් ඇප පනතේ 14 වැනි වගන්තිය ප්‍රකාරව සැකකාරිය තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

අගතියට පත් තම සේවාදායකයා විසින් මෙම සැකකාරිය සන්තකයේ රුපියල් මිලියන 226ක මුදලක් තැන්පත් කර ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

මෙම ගෘංගාර මූල්‍ය රැජින සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිට විමර්ශනයන් සිදු කර ඇති නමුත් ගනුදෙනුවලදී අතරමැදි පාර්ශ්වයක් ලෙස සැලකෙන මෙන්ම එලෙස කටයුතු කළ ජානකී සිරිවර්ධන යන අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් නොගන්නේ මන්දැයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් විමසා සිටියේය.

ජානකී සිරිවර්ධන යන අය සම්බන්ධයෙන් මේ වන තෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් ඇයව අත්අඩංගුවට නොගන්නේ ඇයි දැයි විමසා සිටි ජනාධිපති නීතිඥවරයා ඇය අත්අඩංගුවට ගත්තා නම් මෙම වංචාවට ලක් වූ මුදල්වලට සිදු වූ දේ සම්බන්ධයෙන් සොයා ගැනීමට හැකියාවක් ඇති බවට අධිකරණය හමුවේ දැනුම් දී සිටියේය.

ඉන් අනතුරුව සැකකාරිය වෙනුවෙන් නීතිඥ දසුන් නාගස්හේන, නීතිඥ රකිත රාජපක්ෂ, නීතිඥ සෞම්‍ය හෙට්ටිආරච්චි හා නීතිඥ ඉන්දික ප්‍රේමතිලක යන මහත්වරු අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එම අවස්ථාවේදී නැඟී සිටි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා සඳහන් කර සිටියේ තිළිණි වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණ ඇමැතිතුමාගේ නීතිඥ මණ්ඩලයම අද අධිකරණය හමුවේ පෙනී සිටින බවය.



තම සේවාදායිකාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන තරම් විශාල වංචාවක් සිදුකර නොමැති බවත් පොලිසිය විසින් ඔවුන්ගේ හිතු මනාපෙට අධිකරණය හමුවේ කරුණු දක්වන බවත් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියහ.

එසේම මම සේවා දායිකාව 2 මුදල් තැන්පත් කර ඇත්තේ රටේ සුප්‍රකට ව්‍යාපාරිකයන් වන බවත් මේ අනුව එතරම් විශාල මුදල් ප්‍රමාණයක් එම ව්‍යාපාරිකයන් විසින් මෙලෙස තැන්පත් කිරීමට තරම් එම මුදල් ඔවුන් විසින් උපයා ගනු ලැබුවේ කෙසේදැයි සොයා බැලීමද වැදගත් වන බව සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එමෙන්ම මේ තරම් විශාල මුදල් ප්‍රමාණයක් එම ව්‍යාපාරිකයන් විසින් උපයා ගනු ලැබූ අයුරු මෙන්ම ඔවුන් මේ වනවිට එම මුදල් සඳහා ආදායම් බදු නිසිලෙස ගෙවා ඇද්දැයිද විමර්ශනය කළ යුතු බවත් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

එමෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාරිය සන්තකයේ බන්ධනාගාරය තුළ තිබියදී දුරකථන තුනක් සොයාගනු ලැබුවා යැයි කීවද චෝදනා ගොනු කර ඇත්තේ එක් දුරකථනයක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් වන බව ප්‍රකාශ කළ නීතිඥවරයා තම සේවාදායිකාව වෙත ගොනු කර ඇති චෝදනා සියල්ලම ඇප ලබාදිය හැකි චෝදනා බව අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

ඒ අනුව තම සේවාදායිකාවට ඇප ලබාදෙන මෙන් නීතිඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කර සිටියේය.

සියලු කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය මේ සම්බන්ධ විමර්ශනයන් තවදුරටත් පවතින බැවින් සැකකාරිය ලබන දෙවැනි දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම කළාය.

එසේම සැකකාර තිළිණි ප්‍රියමාලි හා ඇයගේ සහායකයා වන ඉසුරු බණ්ඩාර යන අය සම්බන්ධයෙන් වූ තවත් නඩුවක් අධිකරණයේ හමුවේ කැඳවනු ලැබූ අතර එහිදීද ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වූ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් දෙදෙනා ලබන 2 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.

ඒ ඇමරිකානු ඩොලර් 60,000ක ඕස්ට්‍රේලියානු ඩොලර් ලක්ෂයක මුදල් මෙන්ම රත්රන් වංචා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වූ නඩුව ද අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙලෙස සැකකරුවන් දෙදෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

ඒ අනුව මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මේ වන විට කොටුව අධිකරණය හමුවේ නඩු හතරක් ගොනු කර තිබිණි.

හංසි නානායක්කාර