ක්‍රිමියාවේ සිට රුසියාවට ප්‍රවේශ වීමට ඇති ප්‍රධාන පාලමක සිදු වූ පිපිරීමෙන් රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් දැඩි තැති ගැන්මකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ට්‍රක් රථයක ඇටවූ බෝම්බයක් පිපිරීමෙන් මෙසේ හානියට පත්ව ඇත්තේ ක්‍රිමියාවේ සිට රුසියාවේ ක්‍රස්නොදාර් පළාතට ප්‍රවිෂ්ට වීමට ඇති එකම පාලමය. එහි දිග කිලෝ මීටර් 19ක් වන අතර මෙය යුරෝපයේ දිගම පාලම ලෙස සැලකේ.
රුසියානු වේලාවෙන් පෙරේදා (08 වැනිදා) උදෑසන 6ට පමණ ට්‍රක් රථය පාලම උඩදී පිපිරී ගොස් ඉන් පාලමේ කොටසක් කඩා වැටිනි. පිපිරීම හේතුවෙන් ඊට සමාන්තරව පිහිටි රේල් පාරේ ගමන් කරමින් තිබූ දුම්රියක ඉන්ධන ටැංකි හතක්ද ගිනි ගැනීමට ලක්ව තිබේ. මෙම පිපිරීමෙන් තුන්දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවත් යුක්රේනයේ සැලැස්මක් මත සිදු වන්නට ඇතැයි විශ්වාස කරන බවත් රුසියානු බලධාරීහු පවසති. මෙය ආරම්භය පමණක් බවත් ක්‍රිමියා අර්ධද්වීපයේ රුසියානු බලය බිඳ වැටී ඇති බවත් යුක්රේන බලධාරීහු පවසති.
ක්රිමියාව යනු 2014 වසරේ රුසියාව විසින් ඈඳා ගන්නා ලද යුක්රේනයේ කලාපයකි. මෙම පාලම රුසියාවට වැදගත් වන්නේ මේ වනවිට දකුණු යුක්රේනය තුළ සටන් කරමින් සිටින රුසියානු හමුදාවලට අවශ්‍ය යුද උපකරණ, අවි ආයුධ ඇතුළු සැපයුම් ප්‍රවාහනය කෙරෙන ප්‍රධාන මාර්ගයක් මේ ඔස්සේ වැටී ඇති බැවිනි.
යුක්රේන යුද්ධය තුළ රුසියාව යම් පසුබෑම්වලට ලක්වෙමින් සිටින බවට පසුගිය දිනවල වාර්තා පළ විය. රුසියානු හමුදා අත්පත් කරගෙන සිටි ඇතැම් ප්‍රදේශ වෙත එල්ල වූ යුක්රේන ප්‍රහාර හමුවේ රුසියානු සෙබළුන්ට පසුබසින්නට සිදුව තිබූ බවද පැවසිණි. ඒ අනුව එම ප්‍රදේශ නැවත සිය පාලනය යටතට ගැනීමට යුක්රේනයට හැකිව තිබිණි.
මෙම තත්ත්වය හමුවේ රුසියාවේ හමුදා නායකත්වය විවේචනයට ලක් වීමට පටන් ගෙන ඇත.
එම විවේචනවලට අනුකූලතාව දක්වමින් යුක්රේනය තුළ හමුදා මෙහෙයුම් සඳහා නව අණදෙන නිලධාරියකු පත් කිරීමට රුසියාව පියවර ගෙන තිබේ. මෙම තනතුර සඳහා අලුතෙන් පත් කර ඇත්තේ ජනරාල් සර්ජි සුරොවිකින් නමැති නිලධාරියෙකි. 55 හැවිරිදි ඔහු චෙච්නියාව, ටජිකිස්තානය, සිරියාව වැනි කලාපවල යුද මෙහෙයුම්වලට සම්බන්ධව සිටි අත්දැකීම් බහුල හමුදා නිලධාරියකු බව සඳහන් වේ.
සහන් වික්‍රමගේ
0 Comments