ragama-land-court-order

රාගම මත්තුමගල ප්‍රදේශයේ අනවසරයෙන් ගොඩ කළ ඉඩමක ඉදිකර ඇති ගොඩනැගිලි වහාම කඩා ඉවත් කිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට බලය දුන් වැලිසර මහේස්ත්‍රාත් තුසිත ධම්මික උඩුවවිදාන මහතා එම ඉඩම කලින් තිබූ තත්ත්වයට පත්කරන්නැයි නියම කළේය. ඉඩම ගොඩ කිරීමට හෝ ගොඩනැගිලි ඉදිකිරීමට රාගම මත්තුමගල ගුණසේකර මාවතේ පදිංචි මුනියන්ඩි නඩරාජා නමැත්තාට කිසිදු බලයක් නොමැති බවට තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා මුනියන්ඩි නඩරාජා නමැත්තාට මහුගේ සේවකයන්ට හෝ අනු නියෝජිතයන්ට එරෙහිව කටයුතු කිරිමේ බලයද ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවට දුන්නේය.



රාගම මත්තුමගල ගුණසේකර මාවතේ පදිංචි මුනියන්ඩි නඩරාජා නමැත්තාට එරෙහිව ඉඩම්  ගොඩ කිරීමේ සංස්ථාව ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරිමේ පනත යටතේ වසර 05 කට පමණ ඉහතදී ගොනුකර තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය. ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව විසින් වගඋත්තරකාර මුනියන්ඩි නඩරාජා නමැත්තාට එරෙහිව ඉකුත් 2017 වසරේ ජුනි මාසයේදී මෙම නඩුව පවරා ඇති බවත් වගඋත්තරකරු 2017 ජුලි මාසයේදී ඊට හේතු දක්වා ඇති බවත් සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ පනත යටතේ බලයක් නොමැතිව පූර්වගාමී මහේස්ත්‍රාත්වරිය ප්‍රමාද දෝෂයකින් මෙම නඩුව විමසීමකට යොමුකර ඇතැයිද සඳහන් කළේය.

ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් බිම් කොටසක් නීති විරෝධී ආකාරයෙන් ගොඩ කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගෙන එය වළක්වාලීමේ අපේක්‍ෂාවෙන් ව්‍යවස්ථාදායකය විසින් මෙම පනත හඳුන්වා දෙනු ලැබ ඇතැයිද මහේස්ත්‍රාත්වරයා තීන්දුවේ සඳහන් කළේය.

ව්‍යවස්ථාදායකය විසින් කුමන අරමුණකින් යුතුව පනත් හදුන්වා දෙනු ලැබුවත් වරින් වර පත්වන රජයන්ගේ දේශපාලන විචලනයන් මත නිලධාරීන් නඩු සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම හා කිසිදු ඉල්ලීමක් නොකොට කල් මැරීම මෙම නඩුවේද පෙනෙන්නට ඇතැයි තීන්දුවේ සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා මහජන සුබසිද්ධිය  සලකා බලමින් යම්කිසි පනතක අර්ථ නිරූපණය පුළුල්ව විවරණය කිරිම මහේස්ත්‍රාත්වරයාගේ කාර්යභාරය විය යුතු බවටද තීන්දු කළේය. ඒ අනුව රාගම මත්තුමගල ප්‍රදේශයේ ඉඩමක්  මුනියන්ඩි නඩරාජා නමැත්තා විසින් අනවසරයෙන්  ගොඩ කර ඉදිකර ඇති ගොඩනැගිලි කඩා ඉවත් කොට ඉඩම යථා තත්වයට පත් කිරිමට මහේස්ත්‍රාත්වරයා ඉඩම් සංවර්ධනය කිරිමේ සංස්ථාවට නියම කළේය.


මනෝප්‍රිය ගුණස්කර