දරුවන් පළිහක් ලෙස යොදා ගනිමින් පෙළපාළිවලට ගෙනයාම රටේ නීතිය අනුවද බරපතළ වරදක් බැවින් කුඩා දරුවන් පෙළපාළිවලට රැගෙන යාම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්න ලෙස ජනාධිපතිවරයා පොලීසියට උපදෙස් ලබා දුන්නේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබා දුන්නේ ළමා අයිතිවාසිකම් සුරැකීම සහ ළමයින්ගේ මානව හිමිකම් ආරක්ෂා කිරීම පිළිබඳ ඊයේ (12දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.
"ළමයින් සහ යෞවනයන් කායික වශයෙන්, මානසික වශයෙන්, සදාචාරාත්මක වශයෙන්, ආගමික වශයෙන් හා සාමාජීය වශයෙන් පූර්ණ වර්ධනයට පත්වන බවට වගබලා ගැනීමටත්,
ඔවුන් ආත්මාර්ථය පිණිස යොදා ගනු ලැබීමෙන් සහ වෙනස්කම්වලට පාත්‍ර කරනු ලැබීමෙන් ආරක්ෂා කර ගැනීමටත් හැකිවන පරිදි ඔවුන්ගේ ශුභසිද්ධිය රජය විසින් විශේෂ පරිශ්‍රමයකින් යුක්තව වර්ධනය කළ යුත්තේය' යනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27වැනි වගන්තියේ 13වැනි උපවගන්තිය යටතේ ඇති කරුණු සිහිපත් කළ ජනාධිපතිවරයා දරුවන් ආරක්ෂා කර ගැනීම රජයක ප්රමුඛ වගකීම බව අවධාරණය කළේය. ශ්‍රී ලංකා පොලීසියට සහ ළමා අයිතීන් සුරැකීම සම්බන්ධයෙන් වන ආයතනවලට දරුවන් සුරැකීම සම්බන්ධයෙන් වන වගකීම් පැවරීමටද මෙහිදී පියවර ගැනිණි. ළමයින් ලිංගික කටයුතු සඳහා යොදා ගැනීමට එරෙහිව සහ ළමුන්ගේ මානව හිමිකම් සුරැකීම සම්බන්ධයෙන් ළමා අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ පනතක් කඩිනමින් සම්පාදනය කිරීමේ අවශයතාව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයා සමගද සාකච්ජා කර ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය. නීතිවිරෝධී ලෙස ඉන්දියාවට සංක්‍රමණය වීමට යාමේදී අත්අඩංගුවට පත්වූ පිරිස අතර සිටින දරුවන්,
දෙමාපියන්ගෙන් වෙන් කර රැඳවීම සම්බන්ධයෙන් අවධානය යොමු කළ ජනාධිපතිවරයා එය වහාම නිවැරදි කර දරුවන් දෙමාපියන් සමග තැබීමට කටයුතු කරන ලෙසද දැනුම් දුන්නේය. ළමා නිවාසවල සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් සුරැකීම පිළිබඳවද මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය යොමු කෙරුණු අතර, ළමා නිවාසවල සිටින විශේෂ අවශ්‍යතා ඇති දරුවන් හඳුනා ගනිමින් ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නිලධාරීන්ට සඳහන් කළේය. ළමා නිවාස භාරව කටයුතු කරන පාලක පාලිකාවන්ට විධිමත් පුහුණුවක් ලබාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිවරයා එමගින් එම දරුවන්ට මුහුණදීමට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් මඟහරවා ගත හැකි බවද පැවසීය. මෙම සාකච්ඡාවට කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය, ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සහ රේඛීය ආයතනවල රාජ්‍ය නිලධාරිහු එක්ව සිටියහ.
(නවෝද්‍යා පවනි)
0 Comments