rice-industry-issues

රසායනික පොහොර තහනමෙන් පසුව වගාකළ පළමු මහ කන්නයේ වී අස්වැන්න පසුගිය වසරේ මහ කන්නයට සාපේක්සව මෙට්‍රික් ටොන් 11,30, 164කින් අඩුවි ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් 2021-22ට අදාළව නිකුත් කළ වාර්තාවකින් අනාවරණය වේ. රසායනික පොහොර හා කෘෂි යෙදවුම් භාවිතය  තහනම් කරනු ලැබුවේ පසුගිය වසරේ ජුනි  මාසයේදීය. ඉන්පසු එළැඹි යල කන්නයේදී ගොවීහු කලින් ගෙන්වන ලද පොහොර භාවිත කළහ.



එහෙත් පසුගිය මහ කන්නය වන විට රසායනික කෘෂි යෙදවුම් සොයාගත නොහැකි තරමට හිග බවට ගොවීහු චෝදනා කළහ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව 2021 වසරේ මහ කන්නයේදී හෙක්ටයාර් 6,81,521කින් වී මෙට්‍රික් ටොන් 30,61,394ක් ලබා ගෙන මෙවර මහ කන්නයේදී 2021ට සාපේක්ෂව හෙක්ටයාර් 3,643ක් වැඩිපුර වගාකර ඇති නමුත් අස්වැන්න ලෙස ලැබී තිබෙන්නේ වී මෙට්‍රික් ටොන් 19,31,230ක් පමණ බවත් ඒ අනුව ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂයකින් අස්වැන්න අඩුවී ඇති බවත් එම වාර්තවේ සඳහන් වේ.



වැඩිම වී වගාවක් සිදුවන අම්පාර දිස්ත්‍රික්කයේ 2021 මහ කන්නයේදී හෙක්ටයාර් 76,391ක් වගා කර වී මෙරක් ටොන් 3,65,123ක් ලබාගෙන ඇති අතර 2022 මහ කන්නයේදී හෙක්ටයාර් 77,631ක් වගාකර ලැබී ඇති අස්වැන්න මෙට්‍රික් ටොන් 2,21,529ක් පමණක් බව එහි දැක්වේ .  අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2021මහ කන්නයේදී වී මෙට්‍රික් ටොන් 4,60,585ක් ලබාගෙන ඇති අතර මෙවර මහ කන්නයේ එය මෙට්‍රික් ටොන් 2,60,448ක් දක්වා පහත බැස ඇතැයිද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නයේ වී අස්වැන්න  පසුගිය වසරට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 1,24,562කින් පහත වැටී ඇති බවද එහි සඳහන්වේ .

මුදිතා දයානන්ද