royal-college-principal-sanath-jayalath

ගුරුවරයකුට තරවටු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති සනත් ජයලත්ට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ. ඉකුත් හය වැනිදා පැවති ලෝක ගුරු දින වැඩසටහනේ දී ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්නගේ දේශනයකට සාවධානව ඇහුම්කන් නොදුන් බව කියන ගුරුවරයකුගේ අතින් අදිමින් වාඩි ගන්නා ලෙසට තදින් ප්‍රකාශ කිරීම මීට හේතු වී ඇත. එම විදුහල් ප්‍රධාන ශාලාවේ මෙම වැඩසටහන පවත්වා තිබේ.

විදුහල්පතිවරයා ගුරුවරයාගේ අතින් ඇදීමේ සිද්ධියට විරෝධය පළකරමින් ගුරු මණ්ඩලය පසුදිනයේ ඉගැන්වීම් කටයුතුවලින්ද ඉවත්ව සිට තිබෙන අතර ඔවුන් යළිත් ඉගැන්වීම් ආරම්භ කර ඇත්තේ අමාත්‍යාංශයෙන් පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන බවට පොරොන්දු වීමෙන් පසුව යැයි එම පාසල් ආරංචි මාර්ග කීවේය.

එදින පැමිණි නිලධාරීන් මූලික විමර්ශනයක් පවත්වා තිබෙන අතර විධිමත් විමර්ශනයක් සඳහා අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් පාසලට අද (10 වැනිදා) පැමිණෙයි.

සිද්ධියට මුහුණ පෑ ගුරුවරයා මාවනැල්ල ප්‍රදේශයේ සිටි රාජකීය විදුහලට පැමිණ තිබෙන අතර ඔහු ද ඉගැන්වීම් කටයුතු නිසි පරිදි ඉටු නොකරන ගුරුවරයෙක් බව පැවසේ.

ඒ සම්බන්ධයෙන් ද විමර්ශනය කරන බව අමාත්‍යාංශය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනයේ වාර්තාව අමාත්‍යාංශයට භාර දී තිබේ.

(නිලන්ත මදුරාවල)