rupavahini-power-cut

ජාතික රූපවාහිනී සංස්ථාව රුපියල් ලක්ෂ 70ක පමණ හිඟ විදුලිය බිලක් නොගෙවීම නිසා එම සංස්ථාවට ලබාදී තිබූ විදුලි සැපයුම් ඊයේ (17) දහවල් අත්හිටුවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කළේය. ජාතික රූපවාහිනී සංස්ථාවේ විදුලිය විසන්ධිවීමත් සම ජාතික රූපවාහිනිය ඇතුළු නාලිකා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමේ මහත් ගැටලු සහගත තත්වයක් මතු වූ අතර විදුලි ජනක ආධාරයෙන් නාලිකා විකාශය කිරිමට එහි බලධාරීන් පියවර ගෙන තිබිණි. ජාතික රූපවාහිනි සංස්ථාව මාස ගණනාවක් තිස්සේ විදුලිය බිල්පත් ගෙවීම පැහැර හැර තිබූ අතර රුපියල් ලක්ෂ 90ක පමණ හිග බිල්පත් ගෙවීමට නියමිතව තිබූ අතර පසුව රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් ගෙවා තිබූ බව ද පැවසේ.



කෙසේ වෙතත් ලංකා විදුලිබල මණ්ඩලය ජාතික රූපවාහිනියට රතු නිවේදන නිකුත් කරමින් හිග විදුලිය බිල්පත් ගෙවන ලෙස අවස්ථා ගණනාවකදීම දැනුම් දී තිබුණු නමුත් බලධාරින් බිල්පත් ගෙවීම මගහැර සිටි බව ද වාර්තා වේ. ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරිහු පැමිණ ඊයේ දහවල් 12ට පමණ ජාතික රූපවාහිනි සංස්ථාවේ විදුලිය සැපයුම විසන්ධි කිරීමට පියවර ගත්හ.  මේ අතර රුපවාහිනි සංස්ථාවේ බලධාරින් ඊයේ පස්වරුවේ ලංකා විදුලිබල මණ්ඩලය සමඟ සාකච්ඡාවක නිරත වූ අතර හිඟ මුදල් වාරික ලෙස ගෙවා නිමකිරීමටත් එතෙක් විදුලි සැපයුම ලබාදෙන ලෙසත් ඉල්ලා තිබිණි. රූපවාහිනි සංස්ථාවේ බලධාරීන් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ද සහාය ඉල්ලා තිබූ අතර ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර යන මහත්වරුන් ද එම ප්‍රශ්නයට මැදිහත් වූ බව ද ආරංචි මාර්ග සඳහන් කළේය.