russia-aeroflot-colombo

මාස 04 ක් පමණ තිසේ අත්හිටුවා තිබූ රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවයේ ගුවන් ගමන් යළි ආරම්භ කරමින් ඔවුන්ගේ ප‍්‍රථම ගුවන් යානය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඊයේ (10) උදේ රුසියාවේ මොස්කව් නුවර ෂෙරමැතියෝවෝ (sheremotyevo) ගුවන් තොටුපළෙන් පිටත්වූ එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්.යූ. 288 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළට ඊයේ උදේ 10.08 ට පමණ ළඟාවිය. ඒ 330 - 300 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් පළමු ගුවන් ගමන සඳහා පැමිණ තිබූ අතර, එහි ගුවන් මගීන් 252 දෙනෙක් සහ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 12 දෙනෙක්ද සිටියහ.



මෙම එරොෆ්ලොට් ගුවන් සේවය ඊයේ සිට සෑම සතියකම සඳුදා සහ සිකුරාදා දිනවල රුසියාවේ මොස්කව් සහ කටුනායක අතර ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය. එළැඹෙන නොවැම්බර් සිට මාර්තු මාසය  දක්වා වූ ශීත සෘතු කාලසීමාව තුළ සතියකට දින 03 ක් සඳුදා, බදාදා සහ සිකුරාදා යන දිනවල මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැළසුම් කර ඇති අතර, මේ සඳහා වන ගුවන් ප්‍රවේශපත්‍රවලින් සියයට 75 ක්ම මේ වනවිට අලෙවි කර අවසාන බව එරොෆ්ලොට් ගුවන් සේවයේ ප්‍රකාශකවරයෙක් කටුනායක ගුවන්තොටුපළේ දී පැවසීය.

මෙම ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන් සහ නියමුවන් ඇතුළු කාර්යය මණ්ඩලය පිළිගැනීම සදහා ගුවන් වරාය හා ගුවන්සේවා අමාත්‍ය  නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර,

සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති  උපුල් ධර්මදාස, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාලයේ සභාපති චලක ගජබාහු යන මහත්වරු ද එරොෆ්ලොට් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිතයෝ පිරිසක්ද කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටියහ.

ටී.කේ.ජී. කපිල