shehan-karunathilake-speaks

ඊයේ කැමිලා පාකර් බිසවගේ ප්‍රධානත්වයෙන් ලන්ඩන් නුවර පැවති බුකර් ත්‍යාග ප්‍රදාන උත්සවයේදී බුකර් සම්මානය දිනුවේ ශ්‍රී ලාංකික ෂෙහාන් කරුණාතිලකයි. එය ලබාගැනීමෙන් අනතුරුව කෙටි ප්‍රකාශයක් කළ ඔහු මෙසේ කීවේය:

“ලංකාවේ මා ජීවත්වූ කාලය පුරා රාජ්‍ය හෝ ඊට ප්‍රතිවිරුද්ධ වූවන් විසින් ඝාතනය කරන ලද මාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරිකයින්, දේශපාලනඥයින්, පුරවැසියන් හා අහිංසක මිනිසුන්ගේ දීර්ඝ නම් ලැයිස්තුව කියවමින් මට ඕනවුණා මේ වැඩේ පර්සිවල් එවරට් (ඇමරිකා ලේඛක) පන්නයට කරන්න.

ඒත් මම එහෙම කළා නම් අපට මුළු රාත්‍රියම මෙහි ඉන්න සිදුවෙන්න තිබුණා. ඒ වෙනුවට මා හිතුවා, මේ කෘතියට පාදක වන කාලයේ, එනම් 1989 කාලයේ මරණයට පත්වූ රිචඩ් ද සොයිසා, රාජිනී තිරාණගම, දයා පතිරණ වැනි මේ කෘතිය තුළ විශේෂයෙන් සඳහන්වන නම් ටිකවත් කියන්න. ඒත් මා එහෙම කළොත් අපි හැමෝටම අපේ දුම්රිය මඟහැරෙනවා.

කොහොම වුණත් ද සෙවන් මූන්ස් ඔෆ් මාලි අල්මේදා වෙනුවෙන් මගේ බලාපොරොත්තුව මෙච්චරයි: බොහොම ආසන්න අනාගතයක - වැඩිම වුණොත් තව අවුරුදු දහයකින් - දූෂණය, සැලසුම් සහගතව ජාතිවාදය ඇවිස්සීම, ගජමිතුරු සංග්‍රහය වැනි දේවල් සාර්ථක නෑ, ඒවා කරලා සාර්ථක වෙන්න බෑ කියන දේ අවබෝධ කරගත් ශ්‍රී ලංකාවක මේ පොත කියවනු ලබනවා ඇති. (හොඳයි, මං හිතනවා පොත තව අවුරුදු දහයකිනුත් මුද්‍රණයේ තිබේවි කියා.) මා හිතනවා එහි තිබෙන කතාවලින් යමක් ඉගෙනගත් ශ්‍රී ලංකාවක එය කියවනු ලැබේවි කියල; ඒ වෙනකොට සෙවන් මූන් පොත පොත් සාප්පුවල සුරංගනා කතා පොත් තිබෙන කොටසේ, මකරුන් කඟවේනුන් ගැන තියෙන කතන්දර පොත් ළඟින් තියල තියේවි කියල;

ඒ වෙනකොට මේ පොත ඇත්ත සිද්ධි හෝ දේශපාලන උපහාසය තියෙන පොතක් යැයි වරදවා වටහා නොගනීවි කියල.

ඉතින් මට මේ අන්තිම ටික ශ්‍රී ලංකාවේ මගේ මිනිස්සුන්ට කියන්න ඕන. මේ පොත මං ඔයගොල්ලන්ට ලිව්වේ. මේක දිනුමක්. අද ලංකාවෙ මිනිස්සු හුඟක් දුක්විඳිනවා. ඒ දුකින් මුදන්න මට ආයුද නෑ. ඒත් මේ ජයග්‍රහණය අපි පිළිගනිමු. ස්තූතියි, ජයවේවා.!”