sports-chain-fraud

'ස්පෝර්ට්ස් චේන්' නමින් පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දෙමින් පිරමිඩ ක්‍රමයට මුදල් ආයෝජනය කළ පිරිසකගෙන් රුපියල් කෝටි 1500කට අධික මුදලක් වංචා කළැයි කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ චීන ජාතික යුවළක් ලබෞන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා ඊයේ (13) නියෝග කළේය. මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔවුන්ගේ බැංකු ගිණුම්වල තිබීම රුපියල් කෝටි 140ක මුදලක් සම්බන්ධයෙන්  තොරතුරු අනාවරණය වූ බවද එම මුදල්  ඔවුන්ට ලැබුණේ කෙසේද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.

මෙම සැකකරුවන් රාත්‍රී මැලේසියාව බලා පිටත්ව යාමට කටුනායක බණ්ඩාරනායක  ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පෙරේදා (12)රැදී සිටියදී අත්අඩංගුවට ගත් බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව, මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ කොළඹ 05 ප්‍රදේශයේ තාවකාලිකව පදිංචිව සිටි චීන ජාතික වයස අවුරුදු 35ක පිරිමියකු සහ 25 හැවිරිදි කාන්තාවකි.

  මෙම සිද්ධියට අදාළව අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව පෙරේදා (12) අත්අඩංගුවට ගත් “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා” නම් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන කුරුණෑගල පදිංචි ශමල් කීරති බණ්ඩාර යන අයගෙන්  ප්‍රශ්න කරමින් සිටියදී එම සැකකරු සිය ජංගම දුරකතනය ඔස්සේ වට්ස්අප් පණිවිඩයක් යොමු  කරමින් වහාම ඉන්නා ස්ථානයෙන් පිටත් වන ලෙසට මෙම සැකකරුවන්ට කළ දැනුම් දීම මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ආරම්භ කළ බව නිතිපතිවරයා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි රජයේ නිතීඥ හංස අබේරත්න මහතා සඳහන් කර සිටියේය.

ඒ අනුව සැකකරුවන් ගුවන් තොටේදී අත්අඩංගුවට ගෙන ඔවුන් තාවකාලිකව වාසය කළ නිවස වෙත ගොස් කළ පරික්ෂාවේදී අදාළ බැංකු ගිණුම් පිළිබද තොරතුරු අනාවරණය වූ  බව ද රජයේ නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.  මෙම වංචාවට අදාළව පැමිණිලි 70ක් අපරාධ  පරික්ෂණ දෙපාර්තමේන්තුවට ලැබී ඇති බවත්, මේ වන විට තොරතුරු අනාවරණය කරගෙන  ඇති ආකාරයට මෙම මෘදුකාංගය ඔස්සේ වංචා  කර ඇති මුළු මුදල රුපියල් කෝටි 1500කට අධික බවත් රජයේ නිතීඥවරයා අධිකරණයට ප්‍රකාශ කළේය. සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි  නිතීඥවරයා සඳහන් කර සිටියේ තම සේවාදායකයා මෙරට ලොකුම මුදලක් ආයෝජනය කළ චීන  ජාතිකයාගේ පුත්‍රයා බවත් ඔවුන් එවන් වංචාවක් කිසිදු අවස්ථාවක සිදුකර නොමැති බවත්ය. ප්‍රතිකාර ලබා ගැනීම සදහා මැලේසියාවට යෑමට පිටත් වූවා මිස මෙරට හැර යාමට සුදානම් නොවුණ බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ වංචාව ප්‍රවර්ධනය කළ බවට සැක කරමින් බවත් නිතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.



තම සේවාදායකයින් මෙරටට පැමිණ වසර ගණනාවක් වන අතර ඔවුන් මහජන චීනය, ඉන්දියාව, මැලේසියාව, බංග්ලාදේශය වැනි රටවල සංචාරය කර ඇති බවද එම නිතීඥවරයා අධිකරණයට ප්‍රකාශ කර සිටියේය. විද්‍යුත් මුදල් (ඩිජිටල් මුදල්) ක්‍රමය අද ලෝකයේ ප්‍රචලිත ආයෝජන ක්‍රමයක් වුවත් එය මෙරට නිත්‍යනුකූල එකක් නොවන බවත් මෙම ක්‍රමයද එවැනි ක්‍රමයක් බවත් නිතීඥවරයා වැඩිදුරටත්  අධිකරණයට දැනුම් දුන්නේය.  මෙහිදී රජයේ නිතීඥවරයා සදහන් කර සිටියේ මෙය ඩිජිටල් මුදල් ක්‍රමයට අදාළ වන්නක් නොව අසරණ මිනිසුන්ගේ මුදල් කොල්ලකෑමේ සිද්ධියක් පමණක් බවත්ය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය මෙම විමර්ශනයේ මූලික අවස්ථාව මෙය වන  බැවින් සැකකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප  කර ඔවුන් ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.  මෙම සිද්ධියට අදාළව පෙරේදා (12) අත්අඩංගුවට  ගත් “ස්පෝර්ට් චේන් සොසයිටි ශ්‍රී ලංකා" නම් ආයතනයේ අධ්‍යක්ෂවරයකු වන කුරුණෑගල පදිංචි ශමල් කීර්ති බණ්ඩාර නමැත්තාට අධිකරණයෙන් ඇප ලබා දී තිබිණි.

මෙම පිරමිඩ වංචාවේ ප්‍රධානීන් ප්‍රසිද්ධ සම්මන්ත්‍රණ ශාලා සුපිරි හෝටල්වල උත්සව පවත්වමින් මෙය හදුන්වා දී ඇත්තේ විශාල ජනකායක් ඒකරාශි කරමින් බවත් මේ වන විට සමස්ත දිවයින පුරාම  මෙම වංචාවට හසුවූ අය සිටින බවත් නිතීඥවරයා  අධිකරණයට දැනුම් දු න්නේය. මෙම “ස්පෝර්ට්ස් චේන් සොසයිටි ශ්‍රී ලංකා" නමින් සමාජයක් පිහිටුවා "ස්පෝර්ට්ස් චේන්" නමින්  පරිගණක මෘදුකාංගයක් හඳුන්වා දෙමින් ඉන් ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව ජනතාව තුළ විශාල  විස්වාසයක් ඇති කර එමගින් මුදල් යෙදවීමට පෙළඹවා මෙම ජාවාරම සිදුකර ඇතැයි පැමිණිල්ල  අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

නිමන්ති රණසිංහ