sri-lanka-australia-match

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තවත් තරගයක් සත්කාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පර්ත්හිදී අද 25දා ශ්‍රිලංකාවේ වේලාවෙන් 4.30 ට පැවැත්වීමට නියමිතය. මේ වනවිට ශ්‍රී ලංකාව තරගවදින කාණ්ඩය වන 'ඒ' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු 02ක් ලබමින් (එක් තරගයක් ක්‍රීඩා කර එය ජය ගනිමින්) ශ්‍රී ලංකාව දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර,



ඔස්ට්‍රේලියාවට එහි හිමිව ඇත්තේ 06වැනි ස්ථානය හෙවත් අවසන් ස්ථානයයි. ඔවුන් නවසීලන්තයට එරෙහි තරගය පරාජයට පත්ව ඇති අතර, ඒ හෙයින් සත්කාරක බිමෙහි වාසියත් සමගින් නව උපක්‍රම සමගින් ඔවුන් අද පිටියට පිවිසෙනු ඇත. පර්ත් තණතීරුව කවදත් වේගපන්දු යවන්නන්ට වාසිදායක තණතීරුවක් වුවද ශ්‍රී ලංකා කණ්ඩායම ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගත යුතු නොවෙයි. ඊට හේතුව වනුයේ අයි.සී.සී.ය (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය) සංවිධානය කරන තරගවලදී තණතීරු සැකසෙන්නේ සියයට පනහ පනහා සම්භාවිතාවක් කණ්ඩායම්වලට ලබාදෙමිනි. කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ටේලියානු වේගපන්දු බලඇණිය අවතක්සේරු නොකළ යුතුය.

මිචෙල් ස්ටාක්, පැට් කමින්ස් සහ ජෝෂ් හෙසල්වුඩ් ලොව මේ වනවිට ක්‍රීඩා කරන ප්‍රබලතම වේගපන්දු බලඇණියකි.

ඊට මිෂෙල් මාෂ් සහ මාකස් ස්ටොයිනිස් එක්වූ කළ තර්ජනය දෙගුණ තෙගුණ කළ හැකිය. එහෙයින් ශ්‍රී ලංකාව මිෂෙල් මාෂ් වැනි වේගපන්දු යවන්නෙකුගෙන් ප්‍රවේසම් විය යුතුය.ඔස්ට්‍රේලියානු කණ්ඩායම මේ වනවිට හොඳ රිද්මයක සිටින ශ්‍රී ලංකා පන්දු යවන්නන් දෙදෙනා වන වනිඳු හසරංග සහ මහේෂ් තීක්ෂණ සම්බන්ධයෙන් දැඩි අවධානයකින් පසුවනවා නොඅනුමානයි. ඊයේ (24)දා ඔවුන්ගේ මාධ්‍ය හමුවට පැමිණි මිචෙල් මාෂ්ගේ අදහස් දැක්වීමෙන් ඒ බව සනාථ වේ.

එහෙයින් ධනංජය ද සිල්වා වැනි පාර්ට් ටයිම්"පන්දු යවන්නෙකු භාවිත කරමින් ඔස්ට්රේලියාවේ අවධානය වෙනස් කිරීමේ සැලසුමකට යා යුතුය. ශ්‍රී ලංකාව ප්‍රමුඛ වේගපන්දු යවන්නන් කිහිපදෙනෙකුම මෙම තරගාවලියේදී ආබාධවලට ලක්ව සිටින නිසා ලහිරු කුමාර ඔහුගේ වගකීම හරිහැටි තේරුම් ගනිමින් තරග දිනවන පන්දු යැවීමකට යොමු විය යුතුය. එසේ වුවහොත් සත්කාරකයින් මෙන්ම  වත්මන් විස්සයි20 ලෝක ශුරයන් වන ඔස්ට්‍රේලියාවේ ලෝක කුසලාන ගමන දැඩි පසුබෑමකට ලක් කිරීමට හැකිවනු නියතය.

ඔස්ට්‍රේලියා පිතිකරුවන් මේ වනවිට ලකුණු අතර නොමැති නිසා වෝනර්, නායක ෆින්චි,


ස්ටෝයිනිස් සහ මැක්ස්වෙල් යන පිතිකරුවන්ව පිටියේ ස්ථාවර වීමට පෙර දවාගැනීමේ සැලසුමකට ගියහොත් මෙවර ලෝක කුසලානයේ බැරෑරුම කඩුල්ලක් පැන ගැනීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට නිර්මාණය වනු ඇත.ඊට අමතරව මේ වනවිට ලකුණු අතර සිටින කුසල් මෙන්ඩිස් එම රිද්මය මෙවැනි අත්‍යවශ්‍යම තරගවලදී ද පෙන්නුම් කළ යුතු අතර, ධනංජයට ආරම්භක පිතිකරු භූමිකාවේ තවදුරටත් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි කරදිය යුතුය. එමෙන්ම වඩාත් කතාබහට ලක්වන චරිතය වන භානුක රාජපක්ෂ ඉතා ඉක්මනින් ලකුණු ඉඩෝරයට තිත තැබිය යුතු අතර,


තරගාවලියේ වඩාත් ප්‍රබලතම කණ්ඩායමක් වන ඔට්‍රේලියාව හමුවේ එය සිදු කිරීමට හැකිනම් ඉදිරී තරගවලදී ක්‍රීඩා කිරීමට ඔහුගේ ආත්ම විශ්වාසය තහවුරු කරගත හැකිවේ. මේ වනවිට ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර විස්සයි20 තරග 25ක් පවත්වා ඇති අතර, ඉන් තරග 10ක් ශ්‍රී ලංකාවද තරග 14ක් ඔස්ට්‍රේලියාවද ජයගෙන එක් තරගයක් පමණක් ලකුණු සමව නිමාවී තිබේ. " එහෙයින් මෙම තරගය හැදින්විය හැකි  වනුයේ වේගපන්දුවට එරෙහිව දඟපන්දුව ජය සොයන තරගයක් ලෙසයි.


(පැතුම් ශ්‍රී විජේරත්න)