ශ්‍රී ලංකාවට ආදායම් ලැබෙන ප්‍රධාන මාර්ගයක් වන්නේ වෙළෙඳ භාණ්ඩ අපනයනයයි. ඇගලුම් කර්මාන්තය එහි මූලිකත්වය ගන්නා අතර, මේ වන විට වෙනත් නිමි භාණ්ඩ හා අමුද්‍රව්‍ය අපනයනය සිදුකරයි. නමුත් ගෝලීය කෝවිඩ් වසංගත ව්‍යාප්තියත් සමග මෙරට නිෂ්පාදන ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල වුණි. ඒ හමුවේ මෙරටට ලැබුණු අපනයන ආදායමට කුමක් සිදුවූයේ දැයි බොහෝ දෙනාගේ කතාබහට ලක්විය.
ආයෝජන මණ්ඩලය යටතේ පවතින අපනයන සැකසුම් කලාප තුළ නිෂ්පාදනය කෙරෙන භාණ්ඩ අපනයනය තුළින්ද මෙරටට ආදායම් උත්පාදනය කරයි. මෙම ලිපිය සැකසෙන්නේ මෙරට අපනයන ආදායම පිළිබඳව හා අපනයන ආදායම ඉහළ නංවා ගැනීම වෙනුවෙන් ගෙන ඇති පියවර පිළිබඳව ඔබව දැනුම්වත් කිරීම වෙනුවෙනි. 2018 වසරේදී මෙරට මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 11,890ක් ලෙස වාර්තා වන අතර, ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 7971ක්ම උපයා ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ඇති අපනයන සැකසුම් කලාප හරහාය.
2019 වසරේදී මෙරට සමස්ත අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 50කින් ඉහළ ගොස් ඇති අතර,
එය ඇමරිකානු ඩොලර් මිලියන 11,940ක් ලෙස දැක්වේ . කෝවිඩ් වසංගත ව්‍යාප්තිය සිදුවූ 2020 වසරේදී මෙරට අපනයන ආදායම තරමක් පහත බැස ඇති අතර, එම වසරේ මුළු අපනයන ආදායම දක්වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 10,047ක්ලෙසය. ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 6,527ක්ම උපයා ඇත් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටත් ඇති අපනයන සැකසුම් කර්මාත්තශාලාවලිනි. 2021 වසරේදී නැවතත් මෙරට අපනයනය සාමාන්‍ය තත්වයට පත්ව ඇති අතර, කෝවිඩ් වසංගතය සම්පූර්ණයෙන්ම අවසන් වී නොමැති පසුබිමක වුවද අපනයන ආදායම ඉහල ගොස් ඇති ආකාරය දක්නට ලැබේ.
ඒ අනුව එම වසරේ මෙරට අපනයන ආදායම සදහන් වන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 12,502ක් වශයෙනි. ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 8,073ක්ම උපයා ඇත්තේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසිනි. මෑතකාලීන ශ්‍රී ලංකා ආර්ථිකය තුළ සිදුවූ අභියෝගයන් හා වෙනස්වීම් හමුවේ වුවද 2022 වසරේ ගෙවී ගිය මාස 9ක කාලය තුළ මෙරට ජාතික අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9000 සීමාවට පැමිණ ඇත. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක ව්‍යවසායකයන්ගේ වෙළද භාණ්ඩ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 7,000කට ආසක්ත වී තිබේ. මෙය පසුගිය 2021 වර්ෂය අදාළ කාලපරිච්ඡේදයට සාපේක්ෂව 16% වර්ධනයකි. මෙම කාලසීමාව තුළ අපනයන ආදායමෙන් 19%කට වඩා කැපීපෙනන වර්ධනයක් පත්වූ අංශ 15කි.
එම අංශ වනුයේ ඇගලුම්, රබර් නිෂ්පාදන, සමුදු/ධීවර ආම්පන්න හා උපාංග. ඉලෙක්ට්‍රොනික හා විදුලි භාණ්ඩ, ලෝහ නිෂ්පාදන, රෙදිපිළි සහ රෙදි. පාවහන්, සම් ආශ්‍රිත නිෂ්පාදන, PVC නිෂ්පාදන, ප්‍රවාහන උපකර, දැව ආශ්‍රිත නිෂ්පාදන, කොහුබත් නිෂ්පාදන, ස්වර්ණාභරණ නිෂ්පාදන සහ මුද්‍රිත නිෂ්පාදනයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය රටෙහි සමස්ත අපනයන ආදායමෙන් 65% දායකත්වයක් මෙන්ම, කාර්මික අපනයන ආදායමෙන් 85% දායකත්වයක් ලබාදෙමින් සමවිටම ශ්‍රී ලංකාවේ අපනයන ක්‍රියාවලියේ පුරෝගාමීත්වය උසුලන බව සභාපති රාජා එදිරිසූරිය මහතා පැවසීය. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ පවතින අපනයන සැකසුම් කලාපයන්හි ඇති නිමි ඇඳුම් නිෂ්පාදනය කරනු ලබන කර්මාන්තශාලාවලින් පමණක් නිමි ඇඳුම් අපනයනයෙන් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 5000 ඉක්මවූ ආදායමක් මෙරට උපයා ඇති බව වාර්තා මගින් පෙනී යයි.
මේ වන විට මෙරටට ආනයනය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති භාණ්ඩ මෙරට තුළ නිෂ්පාදනය කෙරෙන අතර, උදාහරණ ලෙස සිමෙන්ති. ටයර්, ටයිල් සහ සෙරමික් භාණ්ඩ දැක්විය හැකිය. නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැගීම තුළින් ශ්‍රී ලංකාව වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික ආබුදයෙන් මිදීමට යම් මාර්ගයක් විවර වන බව කිව හැකිය.
එබැවින් එහි ඉදිරි පියවර පිළිබදව අවධානය යොමු කිරීම වැදගත්ය. ඒ සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට ඇති සැලසුම් පිළිබදව දැනුවත් වීම වැදගත්ය. මෙරට ආයෝජන ප්‍රවර්ධනය සදහා කෙටිකාලීන මෙන්ම දිගුකාලීන උපායමාර්ග කෙරෙහි ආයෝජන මණ්ඩලය දැනටමත් අවධානය යොමු කර ඇති බව එහි සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව කෙටිකාලීන උපායමාර්ගයක් ලෙස දැනට පවතින සමාගම් ප්‍රති-ආයෝජනයක් සදහා දිරිමත් කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළක් මේ වන විට හඳුන්වා දී ඇත. ඒ තුළින් සෘජු විදේශ ආයෝජන ආකර්ෂණිය වර්ධනය කිරීමට කටයුතු කරන බවත්, හදුනාගත් ප්‍රමුඛතා අංශ හතරක් මත පදනම්ව තවමු තාක්ෂණිය ප්‍රමුඛ කොටගත් සෘජු විදේශ ආයෝජකයන්ගේ ගමනාන්තයක් ලෙස ශ්‍රී ලකාව ස්ථානගත කිරීම කෙරෙහි අවධානය යොමුකොට ඇත. මෙහිදී ප්‍රමුඛතා අංශ ලෙස නව කලාප සංවර්ධනය කිරීම සහ සමස්ත ආයෝජක අත්දැකීම් ඩිජිටල්කරණය කිරීම තුළින්, ආයෝජකයන්ට බාධාවකින් තොරව සේවා සපයිම සහතික කිරිමේ ක්‍රියාවලිය හඳුන්වාදීම ආයෝජන මණ්ඩලීය දිගුකාලීන උපායමාර්ගික සැලසුම ඛව සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.
සැමවිටම අභියෝග හා දුෂ්කර අවස්ථාවන්හිදී ව්‍යවසායකයන් සමග එක්ව අවශ්‍ය පහසුකම් සපයමින් කටයුතු කිරීමේ විශිෂ්ටත්වය. නැවත වරක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සනාථ කර ඇති බව, මෙම කාර්යසාධනයේ වර්ධනය පිළිබදව අදහස් දක්වමින් ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම්.වීරකෝන් මහත්මිය පැවසුවාය. රටේ පවතින අර්බුදකාරී වාතාවරය ඉක්මනින්ම සමතය වනු ඇතැයි තම අපේක්ෂාව බවත්, නව රාජ්‍ය අමාත්‍යවරයාගේ හා එම කණ්ඩායම් කැපවීම, මගපෙන්වීම සහ අනෙකුත් සියලුදෙනාගේ සහයෝගය ඇතිව අපගේ සේවාවන් ඉදිරියටත් කාර්යක්ෂමව කරගෙන යාම තම අපේක්ෂාව බවත් අධය ජනරාල්වරිය අවධාරණය කළාය.
එම ක්‍රියාදාමයන් තුළින් පවතික අභියෝග මධ්‍යයේ වුවද. ශ්‍රී ලංකාව කලාපයේ ප්‍රමුඛතම ආයෝජන ගමනාන්තය බවට පත්කරලීම තම අභිප්‍රාය බවද වැඩිදුරටත් පැවසීය.
ආයෝජනකරුවන් ආයෝජන අවස්ථා වඩා පහසු අයුරින් ඉටුකරදීමේ අරමුණින්, සමස්ත ආයෝජන ක්‍රියාවලිය එකම ස්ථානයකින් ඉටුකරගැනීම සදහා අවශ්‍ය කරන සියලුම පහසුකම් ලබාදීමේ අරමුණින්, ආයෝජන පහසුකම් මධ්‍යස්ථානය පිහිටුවා තිබේ. මෙමගින් සියලුම සමගාමී හා රේඛීය අමාත්‍යාංශ හා නියෝජිත ආයතන, මෙම ආයෝජන පහසුකම් මධ්‍යස්ථානය තුළින්ම අදාල ආයෝජකයන් සමග ගනුදෙනු කිරිම් ඉඩ ප්‍රස්ථාව සලසා ඇත. රේගු ලියකියවිලි ඇතුළු ආයෝජන මණ්ඩලය මගින් සපයන සේවාවත් ඩිජිටල්කරණය කිරීම, නැවත ආයෝජනය ප්‍රවර්ධනය දිරිමත් කිරීම, හවුල්කරුවන් සොයාගැනීම් දත්ත පදනමක් හදුන්වාදීම, පස් අවුරුදු නේවාසික වීසා බලපත්‍ර ලබාදීමේ වැටසටහන වැනි ධනාත්මක සේවාවන් මගින්, විදේශීය ආයෝජකයන්ට හිතකර ආයෝජන පරිසරයක් ලබාදීම තුළින් සාජු විදේශ ආයෝජන ඉලක්කයන් වෙත ළගා වීම පහසු කෙරෙන බව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ විශ්වාසයයි.
(නවෝද්‍යා පවනි)
0 Comments