sri-lanka-food-crisis

නිසි පෝෂණය සහිත ආහාර වේලක් ලැබෙන පිරිස රටේ ජනතාවගෙන් පහෙන් එකක් පමණක් බවත්, රටේ ජනතාවගේ අදායමෙන් සියයට  75ක්ම ආහාර සඳහා වියදම් වන බවත්, ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සදහා වන ජාතික සභා අනුකමිටුවේදී ඊයේ (19) අනාවරණය විය.මේ කරුණු සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනාගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ රැස්වූ අවස්ථාවේදීය. මෙම ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණ සුරක්ෂිතතාව, පොහොර අවශ්‍යතාව, අස්වැන්නේ ඉදිරි අඩුවීම, මන්දපෝෂණ තත්වය සහ එයින් ඇතිවිය හැකි සමාජීය අතුරුඵල ආදිය පිළිබඳව විද්වත් අදහස් ලබාගැනීම සඳහා මෙම රැස්වීම කැඳවා තිබිණි.

ණය ප්‍රතිව්‍යුහගතකරණය සහ රටේ ඖෂධ භාවිතය පිළිබඳ විද්වත් අදහස් ලබාගැනීම කමිටුව විසින් මීට පෙර සිදුකරන ලදී.

වසර දහයක පමණ කාලයක් තිස්සේ රටේ පවතින මන්දපෝෂණ තත්වය වර්තමානයේදී පවතින ආර්ථික අර්බුදයත් සමග උත්සන්න වී ඇති නිසා මෙම තත්වය පිටුදැකීම සඳහා ගතහැකි කෙටිකාලීන සහ මධ්‍යකාලීන පියවර සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරිණි. මෙහිදී සභාපතිවරයා මුදල් අමාත්‍යාංශය වෙත දැනුම් දුන්නේ ආදායම් සහ ගෘහස්ථ වියදම් පිළිබඳ සමීක්ෂණය වහාම සිදුකරන ලෙසයි.

මෙම සමීක්ෂණය 2019න් පසු සිදුකර නැති බවද, සභාපතිවරයා දැනුම් දුන්නේය. එම සමීක්ෂණය මගින් මෙම ආර්ථික අර්බුදයේ සමාජීය ප්‍රතිඵල පිළිබඳ නිවැරැදි තොරතුරු ලැබෙන බවත්, එම තොරතුරු ඉදිරි වැඩපිළිවෙළ සැකසීමේදී ඉතා වැදගත් වන බවත්, චම්පික රණවක මහතා සඳහන් කළේය.


සුජිත් හේවාජුලිගේ