susil-premajayantha

ඉදිරියේදී ආසන්න වශයෙන් පිහිටි පාසල් ගණනාවක් භෞමික පදනමින් සිසු  අවශතා පාදකව ඒකාබද්ධ කර, පාසල් පොකුරු නිර්මාණය කරන බවත්, මේ එක් පාසල් පොකුරක ප්‍රමුඛ වූ පාසලක් හෝ කිහිපයක් මූලිකව ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ කලාප කාර්යාලයේ පැවති රැස්වීමක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලබන ජනවාරි වනවිට එවැනි පාසල් පොකුරු 1,200ක් පමණ දීපව්‍යාප්ත මට්ටමින් හඳුනාගත හැකිව පවතින බවද හෙතෙම සඳහන් කළේය.



මේ පාසල් පොකුරක් තුළ පවතින පාසල් අතර අන්තර් කළමනාකරණ ක්‍රියාවලියක් ඔස්සේ මානව සම්පත් හුවමාරුවක් හරහා සිසු අවශ්‍යතා ඉටුකර ගැනීමේ පිරීමැසුම් දායක කාර්යක්‍ෂම යාන්ත්‍රණයක් සැකසෙන බවද අමාත්‍යවරයා පැවසීය. මෙහිදී පාසල් හෝ සම්පත්වල මාරුවීමක් හෝ බෙදා වෙන් කිරීමක් සිදු නොවන බවත්, භෞතික මෙන්ම තාක්‍ෂණික ක්‍රමවේද හරහා හුවමාරුවක් පමණක් සිදුවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

සෑම සිසුවෙකුම අත් නොහැරි අවධානයට ලක් වන අතර, හුදෙකලා පාසල් ඉදිරීයේදී ඉතිරි නොවන බවත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථානය (NERC) හා පළාත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථාන (PERC) මගින් අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ මේ ප්‍රමුඛ පාසල් සංකල්පය ක්‍රියාවට නංවනු ලබන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාතික පාසල් හා වෙනත් පාසල්වද මේ පාසල් පොකුරක ප්‍රමුඛ පාසල් (Lead School) බවට පත් වීමට ඉඩ තිබෙන අතර, මේ පාසල් පොකුරු සංකල්පය හරහා ඉදිරියේදී අපට දැකිය හැකි වන්නේ, ප්‍රාථමික පාසල්, කනිෂ්ඨ ද්විතීක පාසල්, ජ්‍යෙෂ්ඨ ද්විතීක පාසල් යනුවෙන් පොදු විධිමත් පාසල් වර්ගීකරණයක් බවත්, මෙමගින් පාසල් පද්ධතියේ ප්‍රමිතිය හා නිර්ණායක ඇතුළත් පාසල් පැතිකඩ සංකල්පය විධිමත්ව සංවර්ධනය වන බවත් අමාත්‍යවරයා පැවසීය.