swim-hero-death-mount-lavinia

“මුහුදේ නාන්න එපා බං තාම එක බිල්ලක්වත් අරගෙන නෑ. රැල්ලත් හොඳටම වැඩියි වාරකන් නිසා.’’ එසේ කීවේ එගොඩඋයනේ මුහුදේ ගසාගෙන ගොස් මිය ගිය මහේෂ් මෙන්ඩිස්ගේ හොඳම මිතුරා වූ සුරංග දර්ශන මෙන්ඩිස්ය.

“ඕක මොකද්ද බං මම ලයිෆ්ගාඩ් කෙනෙක් (ජීවිතාරක්ෂක භටයෙක්) මට මුහුද පුරුදු නැද්ද’’ ඒ මහේෂ් මිතුරාට පැවසූ අවසන් වචන කිහිපය විය.



දක්ෂ පිහිනුම් ශූරයකු වූ මහේෂ් මෙන්ඩිස් පවුලේ සමාජිකයන් සමග එගොඩඋයනේ සාදයකට පැමිණ තිබුණේ ඉකුත් 16 වැනිදාය. සියලු දෙනා සතුටු සාමීචියේ යෙදී සිටියදී කුඩා දරුවකුගේ පෙරැත්තය මත මහේෂ් මුහුදට ගියේ දරුවා ද සමඟිනි. “මාව ගහගෙන ගියොත් ඔයා බේර ගන්නවාද’’ ඔහු දරුවාට පවසා තිබුණි.

“මහේෂ් එයාගේ රත්තරන් බඩු ටික ඔක්කොම නෝනගේ අතට ගලවලා දීලා නාන්න යන්න පිටත් වුණා. මහ වෙලාවක් ගියේ නැහැ ගල් බැම්ම ගාවට යන්න. මහේෂ්ට බොල්ගොඩ ගඟ නම් හොඳට පුරුදුයි. ඒත් එයාට මුහුද හුරු නෑ කියලා මට නම් දැනුණා. මොකද මහේෂ් ගල් බැම්ම ළඟට ගිය ගමන්ම මුහුදට පැන්නේ දෙපාරක් නොසිතා නිසා. ඒ පැන්නා විතරයි විනාඩි පහක් වත් ගියේ නෑ මහ හයියෙන් රැල්ලක් ඇවිත් මහේෂ්ව ගහගෙන ගියා. ඔහුව බේරාගන්න අපේ මස්සිනා මුහුදට පැන්නත් වැඩක් වුණේ නෑ. යැයි මහේෂ්ගේ හොඳම මිතුරා වූ සුරංග කීවේය.

එලෙස විනාඩි හතළිස් පහක් පමණ කාලයක් මුහුද මැද ජීවිතයත් මරණයත් අතර සිටි මහේෂ් දෙවැනි රැල්ලට හසුවූයේ නොසිතූ ලෙසිනි. එතැන් සිට මහේෂ් මුහුදේ කිසිවකුටත් නොපෙනී ගියේය. දිනකට පසු ඔහුගේ සිරුර ගල්කිස්සේ සවියා පාරේ වෙරළට ගොඩ ගසා තිබිය දී ගල්කිස්ස පොලිසිය විසින් සොයා ගෙන තිබිණි.

තිස් අට හැවිරිදි එක්දරු පියකු වූ මහෙෂ් මොරටුව, කඩලානේ පදිංචිකරුවෙකි. බිරිය ගෘහණියකි. පුත්‍රයා මෙවර අපොස සමාන්‍ය පෙළ විභාගට පෙනී සිටින්නේය. ම

ොහු හට නැව් පැදවීමේ බලපත්‍රයක්ද හිමිය. මහේෂ් විදේශගතව සිට නැවකද සේවය කර පසුව එය අතහැර මෙරටට පැමිණ ඇත්තේ බොල්ගොඩ බෝට්ටු අංගණයක් ආරම්භ කිරීමේ අරමුණිනි. එහෙත් ඔහුගේ බෝට්ටු අංගණයට විරුද්ධව පසුගිය වසරේ මොරටුව මහ නගර සභාව මගින් නඩු පවරා තිබිණි. එයට එරෙහිව මොරටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පැවැතිණි. එමනිසා බොට්ටු අංගණය වසා දැමීමට මහේෂ්ට සිදු වූයේ පැමිණි බාධක නිසාවෙනි. මියයන විට මහේෂ්ගේ රැකියාව වූයේ දැව ව්‍යාපාරයයි.

කුඩා කළ සිටම මහේෂ් පිහිනීමට ඇලුම් කළ අයෙකි. එනිසා නිවෙස ඉදිරිපිට ඇති බොල්ගොඩ ගඟ ඔහුගේ නවාතැන් පොළ විය. දිනක් ගඟේ ගිලෙන්නට ගිය දෙදෙනකුගේ ජීවිත බේරා ගෙන ඇත්තේ මහේෂ්ගේ දෑතින්ය. ඉන් පසු දියේ ගිලී මිය ගිය අයගේ සිරුරු ගොඩ ගැනීමට පොලිසිය නිතර අමතන්නේ මහේෂ්ට බව ඔහුගේ මිතුරා වූ සුරංග කීවේය.

ඔහුගේ සිරුර මේ වන විට කළුබෝවිල පශ්චාත් මරණ පරීක්ෂණයට ගෙන ගොස් තිබේ.

දර්ශාන් කානිල් - මොරටුව