thihagoda-deshan-incident

තිහගොඩ නායිම්බල - කන්දේපොල  මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පාසල් සිසුන් පිරිසක් පරික්ෂා කිරීමට යාමේ දී වෙඩි වැදී 15 හැවිරිදි පාසල් සිසුවකුගේ හිසට බරපතල තුවාල සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තිහගොඩ පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප‍්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා පෙරේදා (29) නියෝග කළේය.

එසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ උපපොලිස් පරීක්ෂක සුනිල් ගමගේ (57) නමැත්තෙකි.

ඔහු එම ස්ථානයේ රැඳී සිටි බවට පිළිගන්නා බැවින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවත් ඔහු විසින් මීට පෙර අත් අඩංගුවට ගත් සැකකරුවන් මාතර, ගාල්ල හා අගුණුකොලපැලැස්ස බන්ධනාගාර තුළ සිටින බැවින් එම බන්ධනාගාරවල හැර වෙනත් බන්ධනාගාරයක රඳවා තබන ලෙසත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා එම බන්ධනාගාරවල හැර වෙනත් බන්ධනාගාරයක රඳවා තබන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මාතර බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියම කළේය.



ඉකුත් සිකුරාදා (28) නායිම්බල, කන්දේපොල මාර්ගයේ දී සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා අත තිබු ගිනි අවිය ක්‍රියාත්මකවීමෙන් බරපතළ තුවාල ලැබුවේ කටුවන්තුඩුවේ පදිංචි හරිෂ් හංසක දේශාන් (15) නමැති නායිම්බල විද්‍යාලයේ 10වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහු අවුරුදු 14 හා 15 වයසේ පසුවන තවත් පාසල් මිතුරන් පස් දෙනෙකු සමග ත්‍රී රෝද රථයකින් මොනර පිහාටු ඇහිඳීම සඳහා ගොස් තිබේ. ඒ පෙරේදා (29) මාතර තුඩාව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ පැවැත්වීමට තිබූ පෙරහරේ කාවාඩි නැටීම සඳහා ය. ඒ වන විට මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් ආපසු පොලිස් ත්‍රීරෝද රථයකින් යමින් සිටි සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනකු පාර පුරා ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් පසු පස ගොස් තිබේ. අතරමග දී එය පාර අයිනේ වළකට වැටී නතරවනවාත් සමගම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඔවුන් අල්ලා ගැනීමට උත්සාහ කර තිබෙන බව කියති. එම අවස්ථාවේ දී සැකකාර උපපොලිස් පරික්ෂකවරයා අත වූ ගිනි අවිය ක්‍රියාත්මක වී පාසල් සිසුවා බරපතළ තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබිය. පසුව ඔහුගේ තත්වය බරපතළ නිසා ගාල්ල කරාපිටිය මහ රෝහල වෙත මාරු කර යැවීය.එහිදී පාසල් සිසුවාගේ හිසේ සැත්කම් දෙකක් සිදු කර ඇති අතර දැනට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.



මෙම සිද්ධියත් සමග ප්‍රකෝපකාරි වූ ගම්වාසීහු තිහගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිටට ගොස් වෙඩි තැබීමට එරෙහිව විරෝධතාවක නිරත වූහ. ඇති වූ උණුසුම් තත්වය පාලනය කිරීමට ඒ අවට පොලිස් ස්ථාන වල නිලධාරිහු ද කැඳවූහ. කෙසේ වෙතත් පොලිස් ස්ථානය තුළට ගිය පාසල් සිසුවාගේ ඥාති සහෝදරියකට පොලීසිය තුළදී පොලිස් නිලධාරියකු බැටන් පොල්ලකින් පහරදීමට උත්සාහ කිරීමේ සිද්ධියක් මූලික කර ගෙන එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්වයක් හට ගත්තේය. එහිදී තිහගොඩ පොලිසියේ නවතා තිබූ කඹුරුපිටිය පොලීසියට අයත් ජීප් රථයකට ද අලාභ හානි සිදු කර තිබුණි.

පසුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එම ස්ථානයට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වා වරද සිදුකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට පොරොන්දුවීමත් සමග සාමකාමී විය. ඒ අනුව සැකකාර උපපොලිස් පරික්ෂකවරයාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ද පියවර ගත්තේය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත භාර දෙන ලදී. එම ඒකකයේ ස්ථානාධිපති ධම්මික මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගෙන ගිනි අවියකින් වෙඩි තබා තුවාල සිදුකිරීමේ චෝදනාව යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.



මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද විමර්ශනයක් ආරම්භ කර ඇත. එහි දකුණු පළාත් සම්බන්ධීකාරක ඩී.එම්. අබේසේකර මහතා ඇතුළු විමර්ශන නිලධාරිහු කණ්ඩායමක් පෙරේදා (29) සිද්ධිය වූ ස්ථානය වෙත පැමිණ ස්ථානීය පරික්ෂණයක් සිදු කළහ. මෙම සිද්ධියෙන් පසු මාතර වැඩබලන පොලිස් අධිකාරි තනතුරට ඇල්පිටිය පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතා පත් කිරීමට දකුණු  පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත්  රෝහණ මහතා කටයුතු කර ඇත. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා වියට්නාමයේ නිල සංචාරයකට සහභාගීවීමට ගොස් තිබූ අතර ඔහු වෙනුවට  වැඩ බැලීමට පත් කර තිබුණේ සහකාර පොලිස් අධිකාරී 1 අයි.ජී. චන්ද්‍රසේන මහතාය. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත මාතර වැඩබලන පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි අයි ජී. චන්ද්‍රසේන මහතාගේ මෙහෙයවීමෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.


ක්‍රිෂාන් ජීවක ජයරුක්