thilini-priyamali-artists

වංචා සහගත මූල්‍ය ගනුදෙනු සිදු කළ බවට සැකපිට අත්අඩංගුවේ පසුවන තිළිණි ප්‍රියමාලි සමග විවිධ ආකාරයෙන් සම්බන්ධවූ ප්‍රසිද්ධ චරිත සමාජ මාධ්‍ය තුළ මේ වනවිට හෙලිදරව් කරමින් පෝස්ටු පළවන අතර එම බොහෝ පෝස්ටු නිවැරදි ඒවා නොවන බව නම් ලැයිස්තුවල සිටින අය මාධ්‍ය අමතමින් දන්වා තිබේ.
මේ සමග පළවන්නේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ‍පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල,හිටපු ඇමැති ජීවන් කුමාරතුංග, සංගීත ශිල්පි පේෂල මනෝජ් හා ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා තමන් ඊට සම්බන්ධ යයි පළවන වාර්තා ගැන දැක්වූ ප්‍රතිචාරයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

මුල්ලේරියාව මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මානසික රෝගීන්ගේ වැඩමුළුවකට සහභාගි වුණු වේලාවේ මම සමග ගත් ඡායාරූපයක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා මම දුටුවා. මම කිසිඳු අයුරකින් එම චෝදනාවට ලක්වන කාන්තාව ඇතුළු පිරිසට සම්බන්ධ නැහැ.



‍පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල

මගේ නමත් ඇතුළුව සමාජ මාධ්‍යයේ සංසරණය වන නම් ලැයිස්තුව පිළිබඳව විමර්ශනය කරන්න කියලා මම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළා.ඒ නම් ලැයිස්තුව දාලා තියෙන්නේ පසුගිය දිනවල ආණ්ඩුව විවේචනය කළ මම ඇතුළු දයාසිරි ජයසේකර, හේෂා විතානගේ, චමින්ද විජේසිරි මන්ත්‍රි කණ්ඩායමයි. ඡන්ද කාලෙට ප්‍රකෝටි ගණන් වියදම් කරන කාගෙවත් නම් මේ ලැයිස්තුවේ නැහැ. දූෂිත චෝදනා රැසක් සහිත අමාත්‍යවරයෙක් සහ එක්තරා කලාකරුවෙක් එකතු වෙලා තමයි මෙම ව්‍යාජ ලැයිස්තු සමාජජාලාවලට මුදාහැරීමේ කටයුත්ත කරලා තියෙන්නේ කියලා අපිට නිල නොවන වශයෙන් තොරතුරු ලැබිලා තියෙනවා.


හිටපු ඇමැති ජීවන් කුමාරතුංග


මෙම සිද්ධියට මාගේ කිසිම සම්බන්ධයක් නැහැ. තිලිණි ප්‍රියමාලි මම හඳුනන කාන්තාවක්. ඇය නිෂ්පාදනය කරන චිත්‍රපට සඳහා මා සම්බන්ධ වුණා. නමුත් ඔය කියන මුදල් ගනුදෙනුවලට මාගේ සම්බන්ධයක් නැහැ.

මගේ ව්‍යාපාරික මිතුරන් තිදෙනෙක් මා මාර්ගයෙන් තිලිණිව හඳුනා ගත්තා. ඔවුන් තිලිණි ළඟ මුදල් දමා තියෙනවා. නමුත් ඒ කොපමණ මුදලක්ද කියා මා දන්නේ නැහැ. නැවත ඔවුන්ට තිලිණි මුදල් දෙන්නේ නැති වුණාම මම ඊට මැදිහත් වුණා. ඒක තමයි ඔය මම මුදල් දැම්මා කියලා ප්‍රචාරය වෙන්න හේතුව.




සංගීත ශිල්පි පේෂල මනෝජ්


මෙහෙම දෙයකුත් තියෙනවා. අපි මේ රට තුළ ජනප්‍රිය පුරවැසියන් නිසා අපිට එක එක විදියේ මිනිසුන් ආශ්‍රය කරන්න හම්බවෙනවා. ඒක එදිනෙදා සමාජයේ සාමාන්‍ය දෙයක්. අපි පාරේ යද්දි පවා මිනිසුන් අපි එක්ක ෆොටෝ ගන්නවා. ඒ ගන්නේ කාලාන්තරයක් තිස්සේ දන්නවා වගේ කරට අත දාගෙන එහෙම. කවුරුහරි එහෙම කෙනෙක් පවා වරදකට සම්බන්ධ වුණොත් පොලිසියෙන් හෝ උසාවියෙන් ෆෝන් චෙක් කරද්දී අපි එක්ක ඉන්න ෆො​ටෝ එකක් තිබ්බොත් අපි මොකද කරන්නේ. අපි හරිම සර්ව සාධාරණ විදිහට ජීවත් වෙන්නේ. මම නම් කැමැති නැහැ මොන විදිහකින්වත් ඔළුවේ කැක්කුම් දාගන්න. මේ ර​ටේ නීතියක් තියෙනවා. ඒ වගේම හොඳ පොලිසියක් තියෙනවා. ඒ අයට පුළුවන් මේකට සම්බන්ධ අය හොයන්න.



ජනප්‍රිය නිළි යුරේනි නොෂිකා

මගේ නම සඳහන් කරමින් තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාවකගේ කූඨ ව්‍යාපාරවලට මමද හවුල් වූ බවට කියැවෙන වට්ස්ඇප් පණිවුඩයක් මේ දිනවල සංසරණය වෙනවා. මේ සඳහන් කරුණු සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. මෙම කාන්තාව හා මා අතර කිසිඳු ව්‍යාපාරික හෝ වෙනත් කිසිම ආකාරයක සම්බන්ධයක් නැති බව මම තරයේ සඳහන් කරනවා. පෞද්ගලිකව මඩ ගැසීමේ චේතනාවෙන් ව්‍යාජ මාධ්‍යවේදී නම් යොදාගෙන සිදුකරන මේ චරිත ඝාතන සම්බන්ධයෙන් මෙහි නම් සඳහන් කලාකරුවන්​ සියලුදෙනාම නීතිමය පියවර ගැනීමට සූදානම්.