thilini-priyamali-semini

මහා පරිමාණ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජනප්‍රිය චිත්‍රපට හා රූපවාහිනී නිළි සේමිණී ඉද්දමල්ගොඩගෙන් පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් ලබාගෙන තිබේ.



එම නිළිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ ඇයගේ සැමියා වන පොලිස් නිලධාරියෙකු වන ධම්මික ඉද්දමල්ගොඩ සමඟයි.

විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයන්ත පයාගල ඇතුළු නිලධාරීහු ඇගෙන් ප්‍රශ්න කර ප්‍රකාශය ලබා ගත්හ.

තිළිණි ප්‍රියමාලි සමඟ ඇති සමීප සම්බන්ධය, තිළිණි ඇයට ලබාදුන් මුදල් ප්‍රමාණය, හඬපට ආදිය පිළිබඳව ද සිනමා නිළියගෙන් රහස් පොලිසිය ප්‍රශ්න කළේය. කෙසේ වෙතත්, නිළිය තිළිණි ප්‍රියමාලි සමඟ කිසිදු සම්බන්ධයක් ඇතැයි මෙහිදී චෝදනා  ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා විය.


පසුගියදා වාර්තා පළවී තිබුනේ තිලිණි ප්‍රියමාලි තමන්ගේ මුදල් ආයෝජකයන් නැවත මුදල් ඉල්ලා කරදර කරන අවස්ථාවල ඔවුන්ව බ්ලැක්මේල් කිරීම සඳහා ඇය නිලියන් ප්‍රයෝජනයට ගත් බවයි. නිළියන් ලවා කරදරකාරී ව්‍යාපාරිකයන්ට ශෘංගාරාත්මක ඇමතුම් ලබාගෙන අයථා ඇසුරුකම් පිලිබඳ ඉඟි ලබාදී පසුව පටිගතවූ එම ඇමතුම් හරහා ව්‍යාපාරිකයින්ව බ්ලැක්මේල් කරමින් මුදල් නොගෙවා සිටි බවයි.

තිළිණි ප්‍රියමාලි සහ ඇගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නොවැම්බර් මස 2දා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙයි.