train-delay-issue

මේ දිනවල සිදුවන දුම්රිය ප්‍රමාදය කඩාකප්පල්කාරි ක්‍රියා ද යන්න සොයාබැලීම සදහා අපරාධ පර්ක්ෂණ පවත්වන දෙපාර්තමේන්තුව හරහා පරීක්ෂණයක් පවත්වන බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (17) පැවසීය.

  මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දන්වා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පරික්‍ෂණයක් සිදුකරන ලෙස තමන් අමාත්‍යංශ ලේකම්වරයාට දැනුම් දුන් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මීට අමතරව දුම්රිය ප්‍රමාදවීම් සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරයා සහ දුම්රිය සාමාන්‍යධිකාරීවරයා යටතේ අභ්‍යන්තර පරික්ෂණයක් සිදුකරන බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.  ජනතාවගේ ඉන්ධන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ඔවුන්ට පහසුවක් ලෙස පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමට තමන් දුෂ්කරතා යටතේ සාධනීය පියවර කිහිපයක් ගෙන ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

 

අනුරාධපුරය දක්වා අලුතෙන් ආරම්භ කළ 'රජරට ඔඩිසි' දුම්රිය පළමු දිනය වූ ඉකුත් සෙනසුරාදා (8) එය ප්‍රමාද වී ගමන් ආරම්භ කළ බව කී ඇමැතිවරයා එදින උත්තරදේවී දුම්රිය තඹුත්තේගමදී පීලි පැනීම නිසා එහි ගමන අතරමග නවතා මගීන්ට බස් රථ මගින් ගමනාගමන පහසුකම් සැලසීමට සිදුවූ  බව ද පැවසීය. මෙහි පළමු ගමන ඇරඹීමේ අවස්ථාවට තමන් ද කොටුව දුම්රිය ස්ථානයට ගිය බවත්, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කැලණිය ප්‍රදේශයේදී කේම්බල් කැපීමක් නිසා දුම්රිය නියාමකයින් ගෙන්වා ගැනීම ප්‍රමාදවීමෙන් දුම්රිය ගමන් ආරම්භ වීම ප්‍රමාද වී තිබූ බව ද ඇමැතිවරයා කීය.

දුම්රිය සේවය කඩාකප්පල් කරන අය සිටින්නේ  නම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්‍ෂණයක් කර වාර්තාවක් ලබාගැනීම වඩා සුදුසු බව තමන් සිතන්නේ යැයි කී ඇමැතිවරයා  වෘත්තීය සමිති නායකයින් කැඳවා ඔවුන්ට ප්‍රශ්න  ඇත්නම් සාකච්ඡා කර විසඳා ගැනීමට තමන් සූදානම් බව ද සඳහන් කළේය. තමන් විසින් ආරම්භ කළ 'ඇල්ල ඔඩිසි', 'ජැෆ්නා නයිට්රයිඩර්", "මහනුවර" යන සති අන්ත දුම්රියන් මගීන් ඉතා ආදරයෙන් වැළඳගෙන තිබෙන බව ද හෙතෙම පැවසීය.


ඩයනා උදයංගනී