uhana-incident-elephant

බන්ඩාරවෙල යාබද ගලපිටගල ගම්මානයේ පිහිටි නිවසකට මිනීමරු වල් අලියකු ඇතුළු වී එම නිවසේ සිටි කුඩා දරුවන් තිදෙනකු ඇතුළු හය දෙනකුට පහරදීමට උත්සාහ කළ අවස්ථාවේ නිවැසියන් සියලු දෙනා අදෝනා නගමින් ඔවුන්ගේ දුක කී අවස්ථාවේ අලියා කිසිදු කරදරයක් නොකර ආපසු හැරි කැලැවට ගොස් ඇතැයි කියන සිද්ධියක් ගැන  උහන පොලිසිය වාර්තා කර තිබේ.



අලියා ආපසු හැරි කැලෑ වැදීම නිසා සිදුවීමට ගිය මහා ඛේදවාචකයක් නුලෙන් වැළකී ගිය බව ද ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා කීය. පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ බව දැනගත් මොහොතේ මේ ගැන සොයා බැලීමට ගලපිටගල ගම්මානයට ගොස් ඇත.  ‘නියපොත්තා' නමින් හැඳින්වෙන මෙම දැවැන්ත තනි අලියා එම නිවෙසට යාමට මොහොතකට පෙර ගලපිටගල ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි නිහාල් ප්‍රේමතිලක නමැත්තාට පහරදී මරා දමා ඩබ්ලිව්. සිරිල් නමැත්තාට පහරදී තුවාල සිදුකර ඇතැයි පොලිස් ස්ථානාධිපතිවරයා කීය. ඩී.එම්. කීර්තිසේන (67) මහතා සිද්ධිය සම්බන්ධයෙන් ගලපිටගල ගම්මානයේ සිට දුරකථනයෙන්  මෙසේ පැවසීය.

“පෙරේදා රාත්‍රී 9.30 ට විතර මම විදුලි  පන්දමත් දල්වාගෙන මයියොක්කා කොරටුව පැත්තට ගියා. ඒත් එක්කම වල් අලියකු මා පසුපස පන්නොගෙන ආවා. මම දුවලා ගිහින් ගේ ඇතුළට රිංගලා දොර වහගත්තා. වහලය පහතින් පිහිටා තිබීම නිසා අලියාට එක්වරම ගේ ඇතුළට එක්න අපහසු වුණා. එම නිසා අලියා වහලයට හොඬවැල තබා කඩා දමන්න හැදුවා. මමයි, මගේ බිරිඳයි, ලෙලි, එයාගේ අවුරුදු 15ක දියණිය සහ අවුරුදු 11ක් හා අවුරුදු තුනක වයසේ පසුවන පුතූ දෙදෙනා නිවස ඇතුළේ සිටියා.

අපි බයේ ගැහෙන්න පටන් ගත්තා. අනේ අපට කිසි කරදරයක් කරන්න එපා, අපි දුප්පත් අහිංසක මිනිස්සු. දරු පැටව් තුන් දෙනෙකුත් ඉන්නවා කියා දොහොත් මුදුන් තබාගෙන අලියාට කන්නලව් කළා. එවිට අලියා ආපසු හැරි කැලෑව තුළට  වැදුණා. අපට මේ සිදුවීම අදහාගන්න බැරි  දෙයක්. මගේ පුතා ඉන්දික සම්පත් සිවිල් ආරක්ෂක බළකායේ භටයකු විදිහට සේවය කරනවා.

ඔහු ගලපිටගල පොලිස් මුරපොළේ රාජකාරි කරනවා. ඔහුට දුරකථනයෙන් කතා කර මේ සිද්ධිය දැනුම් දුන්නා. පුතා මේ ගැන උහන පොලිස් ස්ථානාධිපති කරුණාරත්න සර්ට කතා කර දැනුම් දී තිබෙනවා.

කරුණාරත්න සර් පොලිසියේ මහත්තුරු කණ්ඩායමක් එක්ක අපේ ගමට ආවා. ‘නියපොත්තා' නමින් හැඳින්වෙන මෙම තනි වල් අලියා මේ වෙනකොට අපේ ගමේ හතර දෙනකු මරා දාලා තිබෙනවා. ගෙවල් දොරවල් පොඩිකර වගා විනාශ කර තිබෙනවා. මේ මිනීමරු වල් අලියා අල්ලා රක්ෂිත වනාන්තරයට මුදාහරින ලෙස වනජීවියේ මහත්තුරුන්ගෙන් ඉල්ලා සිටිනවා." යැයි කීර්ති මහතා වැඩිදුරටත් කීය.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය