vehicle-fraud-nabbed

නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කර ව්‍යාජ ලිපි ලේඛන සකස් කළ බව කියන අතිසුඛෝපභෝගී මෝටර් රථයක් රුපියල් ලක්ෂ 25 කට විකිණීමට පැමිණි එහි රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා සහ මෝටර් රථය ඊයේ (13) අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා අති සුඛෝපභෝගී මෝටර් රථයක් ලක්ෂ 25 කට විකුණන බවට පානදුර වලාන දූෂණ මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී උදය කුමාර මහතාට ලද තොරතුරක් අනුව එය මිලදී ගැනීමේ මුවාවෙන් පොලිස් උපාය දූතයන් යොදවා කොළඹ නගරයට ආසන්න ප්‍රසිද්ධ රෝහලක් අසලට ගෙන්වාගෙන සැකකරු සහ වාහනය පොලිස් භාරයට ගෙන ඇත.

මෝටර් රථය පරික්ෂා කිරීමේදී එහි චැසි අංකය වෙනස් කර තිබු අතර සවිකර තිබූ ලියාපදිංචි අංකයට ව්‍යාජ ලිපි ලේඛන ද සකසා තිබූ බව පොලිසිය කියයි. පොලිස් භාරයට ගත් මෝටර් රථයේ සවිකර තිබූ ලියාපදිංචි අංකය කඩවත ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් මෝටර් රථයක ලියාපදිංචි අංකය බවට තහවුරු වූ බව වැටලීම සිදුකළ පොලිස් නිලධාරියෙක් පැවැසීය. මහා පරිමාණයෙන් වාහන ආනයනය කරන ව්‍යාපාරිකයකු මෙම කූට ජාවාරම පිටුපස සිටින බවට සිදුකළ මූලික විමර්ශනවලදී තහවුරු වූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු බොරැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ක පුද්ගලයකු වන අතර ද ඔහුද වාහන කිහිපයක හිමිකරුවකු බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


(බණ්ඩාරගම බිමල් ශ්‍යමන් ජයසිංහ)