water-bill-school

ජල බිල්පත් ගෙවීම සිදු නොකරන පාසල්වල ජල බිල්පත දින 14ක් තුළ ගෙවීමට කටයුතු නොකළහොත් ජල සම්බන්ධතා විසන්ධි කරන බවට ජල සම්පාදන මණ්ඩලය විසින් මේ වනවිට ලිඛිතව දන්වා තිබෙන බව ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරති.මේ වසරේ ආරම්භයේ සිටම ජල බිල්පත් පාසල් මගින් ගෙවිය යුතු බවට බලධාරින්න විවිධ ප්‍රකාශ සිදුකළ බවත්, මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශ බලධාරීන් දැනුවත් කිරීමට කටයුතු කළ බවත් එම සංගමයේ කැඳවුම්කරු ජෝෂප් ස්ටාලින් මහතා පැවසීය.

එහිදී පාසල් මගින් ජල බිල්පත් ගෙවීම සිදුකිරීමට අවශ්‍ය නොවන බවට දැන් වූ බවත්, මේ නිසා පාසල් සංවර්ධන සමිති අරමුදල තුළින් හෝ දෙමවුපියන්ගෙන් මුදල් එකතු කරල්ල බිල්පත් ගෙවීමට බෝහෝ විදුහල්පතිවරුන් කටයුතු නොකළ බවත් හෙතෙම පවසා සිටියේය.මේ ආකාරයට ජල බිල්පත් ගෙවීම නොකරන පාසල්වලල සම්බන්ධතා දින 14කට පසු විසන්ධි කරන බවට ජල සම්පාදන මණ්ඩලය දන්වා එවා තිබෙන බවත්, ජල සම්බන්ධතා විසන්ධි කළහොත් පාසල් පවත්වාගෙන යාමට නොහැකි නිසා පාසල් වසා දැමීමට සිදුවන බවත් ජෝෂප් ස්ටාලින් මහතා සඳහන් කළේය. එසේම ජල බිල්පත් පාසල්වලින් ගෙවිය යුතු බවට ලිඛිත දැනුම්දීමක් අධ්‍යාපන බලධාරීන් සිදුකර නොමැති නිසා පාසල් සංවර්ධන අරමුදල තුළින් හෝ දෙමවුපියන්ගෙන් මුදල් එකතු කර ජල බිල්පත් ගෙවීමට නොහැකි බවද ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කරයි. එහෙත් සමහර පාසල් ජල බිල්පත් පාසල් සංවර්ධන අරමුදල තුළින් මුදල් ගෙවා තිබෙන බවත්, පවතින නීතියට අනුව පාසල් සංවර්ධන ගිණුමෙන් හෝ දෙමවුපියන්ගෙන් මුදල් එකතු කර ජල බිල්පත් ගෙවීමට නොහැකි බවත් එම සංගමය පෙන්වා දෙයි.

මේ නිසා බොහෝ විදුහල්පතිවරුන් ජල බිල්පත් ගෙවීමට කටයුතු කර නොමැති බවත්, මේ අනුව ඇතැම් පාසල්වල ජල බිල්පත්වල එකතුව රුපියල් හතළිස් දහසක් වැනි මුදලක් බවට පත් වී තිබෙන බවත් ශ්‍රී ලංකා ජාතික විදුහල්පති සංගමය සඳහන් කරයි. පාසල් මගින් ජල බිල්පත් ගෙවිය යුතු නම් ඊට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය හෝ කලාප කාර්යාල, පළාත් අධ්‍යාපන කාර්යල මගින් ඒ පිළිබඳ විදුහල්පතිවරන්ට ලිඛිතව දැන්විය යුතු බවත්, ඉන් පසුව පාසල් සංවර්ධන අරමුදල තුළින් හෝ දෙමවුපියන්ගෙන් මුදල් එකතු කර ජල බිල්පත් ගෙවීමට කටයුතු කරන බවත් එම සංගමය පෙන්වා දෙයි.


(ඉන්දික හේවාවිතාරණ)