yala-amaraweera

යාල ජාතික වනෝද්‍යානයේ වන සතුන්ට හිරිහැර වන ආකාරයට ජීප් රථ ධාවනයක් සිදු කළ බාහිර පිරිසට උදව් කළ සියලුම නිලධාරීන්ගේ වැඩ තහනම් කර විනය පරීක්ෂණයක් පැවැත්වීමට වනජීවී ඇමති මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට අපොහොසත් වූ නිලධාරීන්ගේ සේවය අත්හිටුවන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා යෝජනා කර තිබේ.



යාල වනෝද්‍යානයේ වන සතුන්ට හානි වන අයුරින් සතුන් නැරඹීමට ගිය පිරිස  වනජීවී හා වෘක්ෂලතා ආඥාපනත යටතේ බරපතල විෂමාචාරයක් කර ඇතැයි ඇමතිවරයා පැවසීය.

මේ අතර, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මිය පැවසුවේ මෙම පිරිස සමඟ පැමිණි මාර්ගෝපදේශකයින් සහ නිලධාරීන්ගේ සේවය විමර්ශන අවසන් වනතුරු දැනටමත් අත්හිටුවා ඇති බවයි.

“එම නිලධාරීන්ට මැදිහත් වීමට හෝ ඉහළ නිලධාරීන්ට දැනුම් දීමට බලය තිබුණත් ඔවුන් ඒ සඳහා කිසිදු පියවරක් ගෙන නැත,” ඇය පැවසුවාය.

කණ්ඩායමේ සාමාජිකයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට පියවර ගන්නා ලෙස දන්වා පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරන ලෙස ද අමාත්‍යවරයා ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.



තවද, ඉදිරියේදී එය වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන් අතර මාර්ගෝපදේශකයින් සහ සාමාජිකයින් අසාදු ලේඛනයකට ඇතුළත් කිරීමටද කටයුතු කර තිබේ.