younger-age-marriage

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මපියන් තම වයස අවුරුදු 18 ට අඩු ගැහැනු දරුවන් ඉක්මන් කසාදයකට යොමුකිරීමේ අවදානම ඉහළගොස් ඇතැයි රතු කුරුස සංවිධානය පවසයි. ආර්ථික අර්බුදය තවත් උග්‍රවුවහොත් තම ගැහැනු දරුවන්ට ඉක්මන් කසාදයක් කර දීමට සිතන බව රතු කුරුස සංවිධානයේ සමීක්ෂණෙයට සහභාගී වූ දිස්ත්‍රික්ක 11 න් 5 ක පවුල් මෙන්ම වතුකරයේ පවුල් වැඩි ප්‍රතිශතයක් ප්‍රකාශ කළ බවද රතු කුරුස සංවිධානයේ නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. ආර්ථික අර්බුදය හේතුවෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ඉහළයාමේ අවදානමක් මතුව ඇතැයි ද රතු කුරුස සංවිධානය පවසයි. එසේම රාජ්‍ය ආයතනවල ප්‍රතිචාර දැක්වීමේ හැකියාවද සීමා වී ඇතැයි රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි.



සමීක්ෂණයට සහභාගී වූ පවුල් අතරින් මෙම  වසරේ ජනවාරි මාසයේ දී මසකට රුපියල් 10,000 කට වඩා අඩු වැටුපක් ගත් පුද්ගලයින් සංඛ්‍යාව සියයට 20 ක් වූ බවත්, එය ජුලි මස වන විට සියයට 24.8 ක් දක්වා වැඩි වී ඇති බවත්, රතු කුරුස සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ. ආර්ථික අර්බුදය හේතුවෙන් කෘෂි සහ ධීවර කර්මාන්තවල නියැලෙන්නගේ සහ දෙනික වැටුප් ලබන්නන්ගේ ජීවනෝපායට දැඩි බාධා එල්ල වී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. ග්‍රාමීය පවුල්වලින් සියයට 64 ක්ද නගරබද පවුල්වලින් සියයට 51 ක් සහ වතුකරයේ පවුල්වලින් සියයට 84 ක්ද වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් අවශ්‍යතා සපුරාගැනීම සඳහා ණය වී ඇතැයි රතුකුරුස සංවිධාන සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

නමුත් වැටුප රුපියල් 80,000 කට වඩා මාසික ආදායමක් ලබන පවුල් වලින් ණය වී ඇ ත්තේ සියයට 35 ක් පමණක් බවද රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි. පවුල් තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තම රත්රන් භාණ්ඩ උකස්කරමින්, හිතමිතුරන්ගෙන් සහ මූල්‍ය ආයතනවලින් මෙසේ ණය ලබා ගෙන ඇතැයිද රතු කුරුස සංවිධානය පවසයි. එසේම ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවට ද බලපෑම් එල්ල වී ඇති අතර සමීක්ෂණයට සහභාගි වූ පවුල්වලින් අඩකටත් වඩා වැඩි ප්‍රතිශතයක් සත්ව නිෂ්පාදන පරිභෝජනය කිරීම නවතා දමා ඇතැයි රතු කුරුස සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ.



ලිපි ද්‍රව්‍යවල අධික මිල, ප්‍රවාහන අපහසුතා, පාසලේදී ලබා දෙන ආහාරය නොමැතිවීම හේතුවෙන් පාසල් හැර යන සිසුන් පිරිසද ඉහළ යා හැකි බව රතු කුරුස සංවිධානය අනතුරු අගවා ඇත. එපමණක් නොව, තම දරුවන්ගේ අවශ්‍යතාව සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් දරුවන් ආයතන වෙත යොමු කිරිමටද දෙමාපියන් පෙළඹීමේ අවදානමක් තිබෙන බව රතුකුරුස සංවිධානය පෙන්වා දී තිබේ. තම පවුලේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිවීම, පවුල් තුළ සහ පවුල් අතර ගැටුම් ඇතිවීම, සමාජයේ ප්‍රචණ්ඩත්වය වැඩිවීම සහ ළමයින්ගේ අධ්‍යාපනයට බාධා එල්ලවීම ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය හේතූවෙන් ඇති විය හැකි කෙටිකාලීන බලපෑම් ලෙස හඳුනාගෙන ඇති බවද රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි.

එසේම පවුල්වල ණය බර වැඩිවීම, සොරකම් සහ කොල්ලකෑම් වැඩිවීම, සියදිවි නසා ගැනීම් වැඩිවීම, ප්‍රචණ්ඩත්වයට මග පාදමින් මානසික ආතතිය වැඩිවීම, පෝෂණ ඌනතා ඇතිවීම, නීති විරෝධීව මුදල් ඉපැයීමට පෙළඹීම වත්මන් අර්බුදය හේතුවෙන් ඇති විය හැකි දිගුකාලීන බලපෑම් ලෙස රතු කුරුස සංවිධානය හඳුනාගෙන ඇත.


විමුක්ති එස් රුද්‍රිගු